යහපාලන ආණ්ඩුව කළ විනාශය නිසා ජනප්‍රිය ආර්ථික තීන්දු ගන්න බැහැ…..

137

වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් ජනප‍්‍රිය තීන්දු ගැනීමට නොහැකි වී ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේ මෙරට ආර්ථිකය විනාශ මුඛයට ඇදගෙන ගොස් තිබූ නිසා යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) පැවසීය.

වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මුලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (06 දා) පෙරවරු 10 ට රැස්විණි.

වාර්ෂික වාර්තා, ලිපිලේඛනාදිය හා පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත‍්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

ඉන් අනතුරුව 27/02 යටතේ විශේෂ ප‍්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීම සිදුවිය. අමාත්‍යාංශ නිවේදන ආදිය ද ඉදිරිපත් කිරීමෙන් පසුව දිනට නියමිත විවාදය ඇරඹිණි.

අපනයන හා ආනයන පාලන පනත යටතේ නියෝගයන් පිළිබඳ විවාදය ආරම්භ කරමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා – මේ කාලයේ දී ලොවටම අතිශය භයංකර තත්ත්වයක් ඇතිවී තිබෙනවා. කොරෝනා වසංගතය හමුවේ ලොව පුරා මනුෂ්‍ය ජීවිත 28 ලක්‍ෂයක් පමණ අහිමි වී තිබෙනවා. ප‍්‍රංශය වැනි බලවත් රටවල් පවා මසකට වසා දමා තිබෙනවා. ලෝකයේ ප‍්‍රධාන රටවල නිෂ්පාදන රටාව පවා බිඳ වැටිලා. එනම් ලෝකයේ ප‍්‍රධාන රටවල ඔත්පළ වීම අප රටටත් බලපෑමක් ඇතිකර තිබෙනවා. ඛනිජ තෙල් මිල වැඩි වී තිබෙනවා. ගෑස් මිල වැඩි වෙලා. සැපයුම් ජාලය අඩපණ වූ පසුව ලෝකයටම ඇතිවන බලපෑමෙන් ශ‍්‍රී ලංකාවට නිදහස් වන්නට හැකියාවක් නැහැ. ලෝක පරිමාණ ව්‍යසනයේ දේශීය බලපැම අප තේරුම් ගත යුතුයි. දෙවන ලෝක යුද්ධයට වඩා කොරෝනා වසංගතය නිසා ලෝකයට බලපෑමක් ඇතිවී තිබෙන බව ආර්ථික විශ්ලේෂකයන් කියනවා. චීනය හැර අනෙක් සියලූම රටවල ආර්ථිකය කඩාවැටී තිබෙනවා. අපේ පාර්ලිමේන්තුව සිල්ලර දේවල් පිළිබඳව කතා කරමින් නොසිට වර්තමාන ලෝක අර්බුදය පිළිබඳව පුළුල් සංවාදයක් ඇතිකර ගැනීමට අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. අද දිළිඳුකම වැඩිවීම මන්දපෝෂණය ආදිය ලෝක ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල කොරෝනා තුන්වන රැුල්ලක් ඇතිවී තිබෙනවා. ලංකාවත් කොරෝනා තුන්වන රැුල්ලකට ගොදුරු වුවහොත් තත්ත්වය මීටත් වඩා බරපතළ වෙනවා. එම නිසා සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රම ජනතාව අනුගමනය කළ යුතුව තිබෙනවා.

මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා (සජබ) – පාර්ලිමේන්තුවේ නම් ස්වභාවික කිරි සහ කල් කිරි දෙන බව ප‍්‍රකාශ කර තිබෙනවා. ඒකෙන් නොකියා කියන්නේ පිටි කළ කිරි අහිතකර බව ද? මේ හේතුව නිසා මම පාර්ලිමේනව්තුවේ කිරි නොබීමට තීරණය කළා. පාර්ලිමේන්තුවෙන් පිට අය පිටි කළ කිරි බොද්දී අප නැවුම් කිරි බොන්නේ කෙසේද. පසුගිය වසර දහය ඇතුළත සුප් කැට සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් ආවා. පිටි කළ කිරිපිටි සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් ආවා. සැමන්වල ආසනික් ප‍්‍රශ්නයක් ආවා. හාල්, රම්පෙ, කරපිංචා ආදිය ගැන ප‍්‍රශ්න ආවා. සැමන්, පරිප්පු, මිරිස් ආදියේ වස තිබෙන බව කියනවා නම් එතනින් එහාට කතා කරන්නට තිබෙන්නේ මොනවාද. අද ලංකාවේ ගාන සමහර සබන් විදේශ රටවල පාවිච්චි කරන්නේ බල්ලන් නෑවීම සඳහායි.

(නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණේ)

රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා – දේශීය අත්යන්ත‍්‍ර රෙදිපිළි කොපමණ නිෂ්පාදනය කළත් තරගකාරී තත්ත්වයක් ඇතිකර ගන්න බැරි වුණේ සමාන රෙදි ආනයනය කළ නිසයි. ඉතා අඩු මිලට රෙදි ගෙනාවා. ඉතිහාසය එහෙමයි. කවුරුත් කතා කළේ නෑ.

රෙදි වියන අයට දීමනාවක් ලබා දෙන්න අපි ඉදිරියේදී ක‍්‍රියාකරනවා. දැන් මේ කර්මාන්තයට පණක් ලැබී තිබෙනවා. අනාගතයේදී අත්යන්ත‍්‍ර පේෂකර්ම කර්මාන්තයට හොඳ කලක් යන බව විශ්වාසයි.

එදා අත්යන්ත‍්‍ර සාරිත් පිටරටින් ගෙනාවා. මේ වසරේ සිට අවශ්‍ය සාරි ලංකාවෙම නිපදවනවා. හමුදාවට අවශ්‍ය තුවා, ඇඳ ඇතිරිලි ආදිය පිටරටින් ගෙනාවේ.

ජනාධිපති අපට විශාල ශක්තියක් මේ වෙනුවෙන් ලබා දුන්නා. හමුදාවට අවශ්‍ය ඇඳ ඇතිරිලි ලංකාවෙම නිපදවනවා. ලංකාවේ බතික් සාරිය, බතික් සරම අලෙවි කිරීමට අවශ්‍ය පරිසරය ඇතිකර තිබෙනවා. බතික් කර්මාන්තය පුහුණු කිරීම සඳහා යන්ත‍්‍ර ලබා ගැනීමට පහසුකම් ඇති කිරීමට අපි ක‍්‍රියා කරමින් සිටිනවා.

විෂකාරක පොල්තෙල් ප‍්‍රශ්නය අද ඊයේ ආපු එකක් නොවෙයි. 1999 සිට පැමිණි දෙයක්. ප‍්‍රමිති ආයතනය ඇතුළු කිසිම ආයතනයක් මේ ගැන කතා කළේ නෑ. දැන් වස ස්ථානගතවෙලා. අද ඇතිවූ දෙයක් යැයි විපක්‍ෂය කතා කරනවා. මේ තත්ත්වය නැති කිරීමට සහාය දීම අපි හැමෝගේම වගකීමක්.

රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා – දේශීය කර්මාන්ත, කෘෂිකර්මාන්තය නැංවීමට ආණ්ඩුව ක‍්‍රියා කරමින් සිටිනවා. ආනයන භාණ්ඩ නියාමනය කිරීම ඉතා වැදගත්. අපනයන ආර්ථිකය ගොඩ නැංවීමට ආණ්ඩුව පමණක් නොව අපි හැමෝම එක්වී ක‍්‍රියා කළ යුතුයි.

අපේ නිෂ්පාදන හොඳ ප‍්‍රමිතියෙන් යුතුව අපනයනය කළ යුතුයි. අද විවාද කරන පනතින් උකුකිරි ආනයනය තහනම් කර තිබෙනවා. එය දේශීය වෙළඳපොළ නැංවීමට හොඳ තත්ත්වයක්.

පොල්තෙල්වල වසවිස ඇති බවට අද සොයා ගත්තත් මේ වසවිස ආනයනය කළේ වසර ගණනාවක සිටයි. අපි කාල තියෙන්නේ වසවිස. මේ වසවිස සහිත ආහාර ගෙන්වන

සමාගම්වලට දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට අපි හැමෝම කැපවිය යුතුයි. අපේ රජය ජනතාවට කිසිදු ගැටලූවකින් තොරව හොඳ ආහාර ලබාදීමට ක‍්‍රියා කරමින් සිටිනවා.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රි විජිත හේරත් මහතා (ජාජබ)- පොල්තෙල්වල පිළිකා කාරක තිබෙන බව පළමුව හෙළි කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි, ප‍්‍රමිති ආයතනය නොවෙයි. එහි අධ්‍යක්‍ෂතුමිය කළ ප‍්‍රකාශය බරපතළයි. ඒ ආයතනය භාරව සිටින්නේ ජනාධිපතියි. ඇයට එරෙහිව ක‍්‍රියාමාර්ග ගත යුත්තේ ජනපතියි.

අධ්‍යක්‍ෂවරියට එරෙහිව ආණ්ඩුව කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැහැ. අද රුපියල ඉතියෝපියාවේ කඩාවැටෙන වේගයටත් වඩා වේගයෙන් කඩාවැටෙනවා. කවුද මේවට වග කියන්නේ.පොල්තෙල් බෙදාහැරියේ කවුද. රේගුව භාරව ඉන්නේ මුදල් ඇමැති. එහෙනම් පොල්තෙල් බෙදා හැරීම ආණ්ඩුවේ වරදින් සිදුව ඇත්තේ. පොල්තෙල්වලින් නොනැවතී ඉදිරියේදී තව අහාර විෂ සහිතව ගෙන එ්වි. මෙය නවත්වන්න ජාත්‍යන්තර ආකාරයට හොඳ ආයතනයක් පිහිටුවන්න.

රාජ්‍ය ඇමැති ඞී. බී. හේරත් මහතා – අද ලෝකයේ බොහෝ රටවල් කොරෝනා නිසා කඩාවැටිලා. මිනිස් ජීවිත දස දහස් ගණන් නැතිවෙලා. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවැරැුදි සැලැස්ම නිසා අපේ රට අද යම් ලෙසකින් ඉදිරියට යමින් සිටිනවා.

උකුකිරි ආනයනයට විදේශ විනිමය වැය කළ යුතු නැහැ. කිරිපිටි ආනයනයට විශාල මුදලක් වැය කරනවා. අද විෂ පොල්තෙල් ගැන කතා කරනවා ඒ වගේම ආනයන කිරිපිටිවල ගුණ අගුණ ගැනත් අපි කතා කළ යුතුයි. ජනතාවට අහිතකර ආහාර ගෙන්වීම නැවැත්වීමට අපි ක‍්‍රියා කළ යුතුයි.

පත් කළ මන්ත‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා (සජබ) – අල්ලස් කොමිසමට විමර්ෂණ නිලධාරීන් අවශ්‍යයි. ඒ සඳහා හැකියාවක් ඇති අය බඳවා ගැනීම ආරම්භ කළ යුතුයි.

ඒ සඳහා අපේක්‍ෂකයන් 11000 ක් පමණ ඉදිරිපත් වුණා. විභාග පැවැත්වුවා. එහෙත් තවම පත්කරගෙන නැහැ. පත්වීම් ප‍්‍රමාදයි.තෝරාගත් 200 දෙනාට පත්වීම් ලිපි ලබා දෙන්න.

ෆාම් ඔයිල් ගෙන්වීම නතර කරලා. එයද මීට තියෙන විසඳුම. ආනයනය කිරීම නොව විදේශීය පොල්තෙල් නිසි ලෙස පරීක්‍ෂාවට ලක් කළ යුතුයි. අද හාල් මිල පාලනය කරන්නෙ මුදලාලිලා. අද ආණ්ඩු පක්‍ෂයක් නැහැ. හැම පාරිභෝගික භාණ්ඩයකම මිල අධිකයි. මෙවර සිංහල අවුරුද්ද ඉතා දුක්ඛදායකයි. ජනතාවට සමරන්න බැහැ.

මාතලේ දිස්ත‍්‍රික් මන්ත‍්‍රි නිමල් පියතිස්ස මහතා (ශ‍්‍රීලපොපෙ) – මේ ආණ්ඩුවට භාර ගන්න සිදු වුණේ පැටළුණු නූල්බෝලයක් වැනි රටක්. ජනාධිපති තුළ යම් ආකාරයකට හොඳ තැනකට ආර්ථිකයත් රටත් ගෙන ආවා.

රටේ රාජ්‍ය ආයතනයන් වෙනදාට වඩා හොඳ සුපරික්‍ෂාකාරීව සිටින නිසයි වස විස පවා අහුවෙන්නේ.

දිල්රුක්‍ෂි ඩයස් නෝනලා අල්ලස් කොමිසම මෙහෙය වූයේ කෙතරම් අසික්කිත ලෙසද? රන්ජන් රාමනායකලා සමග දුරකථන සංවාද පවත්වා විනාශ වූ ආයතනයක් බවට අල්ලස් කොමිසම පැවතුනා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජේ. සී. අලවතුවල මහතා (සජබ) – සීනි බදු අඩු කිරීමෙන් බිලියන ගණනින් රටට පාඩුවෙලා. නමුත් ජනතාවට කිසිම සහනයක් ලැබී නැහැ. විස පොල් තෙල් ගෙනාවත් එම වැරදි වහන්න සමහර ආණ්ඩුවේ මන්තී‍්‍රවරු කි‍්‍රයාකරමින් ඉන්නවා. කොප්පරා ගෙන්වීමට කැබිනට් මණ්ඩලය මාස 4 කට පෙර තීරණය කළත් තවම කි‍්‍රයාත්මක වී නැහැ.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා – දේශපාලන වාසි ගැනීමේ අරමුණින් අමූලික බොරු ප‍්‍රකාශ විපක්‍ෂය විසින් නිකුත් කරනවා. පාරිභෝගික ආරක්‍ෂාව වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් බිහි කළේ ජනතාවගේ අනාරක්‍ෂිත බව නැති කිරීමටයි. රටට ඇතුළු වන පරිභෝගික භාණ්ඩ ආරක්‍ෂිත බව තහවුරු කරගෙන ජනතාවට ලබාදීම එහි අරමුණයි.

මේ ප‍්‍රශ්න අද ඒවා නොවෙයි. දශක කිහිපයක ඇති වූ ප‍්‍රශ්නවල ප‍්‍රතිඵලයි. නමුත් අපි අනාගතයට ඒ අනාරක්‍ෂිත බවට ඉඩ හරින්නේ නැහැ.

ආනයනික භාණ්ඩ 120ක අඩුපාඩුකම් තියෙනවා. ඒවා නියාමනය කිරීමේ ක‍්‍රමවේදයක් ඇතිකර තියෙනවා. මීට පෙර මෙම ආපු කන්ටේනරය එහෙම්මම රටට මුදාහැරියා. ඉදිරියේදී එලෙස සිදුවන්නේ නැහැ.

සීනි වංචාව තැන තැන කිව්වත් කොහොමද වංචාවක් සිදුව ඇත්තේ කියා කවුරුවත් කියන්නේ නැහැ. අපි ඒ පිළිබඳ ඕනැම විවාදයකට සූදානම්.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා (ශී‍්‍ර.ල.පො.පෙ.) – යුද්ධය අවසන් කරපු රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට විශ‍්‍රාම වැටුප් දෙන බවට අපි පොරොන්දු වුණා. අපි ඒ ගැන තීරණ ගෙන තියෙනවා. නමුත් යම් පිරිසක් ඊට එරෙහිව එම පිරිසව උසිගන්වනවා. විශ‍්‍රාම වැටුප ලබාදීම අපේ යුතුකමක්, ඉටුකළ යුතුයි.

එක් එක් අයගේ උසිගැන්වීම්වලට අහුවෙන්න එපා කියලා අපි ඒ පිරිසගෙන් ඉල්ලා සිටිනවා.

ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා (සජබ) – වස විසෙන් තොර ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළක් හදන බව ආණ්ඩුව මහ ලොකුවට කතා කළා. ඒත් සිංහල අවුරුද්දට කැවුමක්වත් බැදගෙන කන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. අද ප‍්‍රමිති ආයතනය ප‍්‍රමිතියක් නැතිම ආයතනයක් බවට පත්වෙලා.

මේ ආණ්ඩුව ගජමිතුරු ව්‍යාපාරික පැලැන්තියක් විසින් අල්ලෙ නටවනවා. ව්‍යාපාරිකයෝ ආර්ථිකය පාලනය කරනවා. ආණ්ඩුව ගැසට් පිට ගැසට් ගහනවා නොගහපු භාණ්ඩයක් නැහැ. කාවද මේ රවට්ටන්න හදන්නේ.

මාතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර වීරසුමන වීරසිංහ මහතා (ශී‍්‍රලපොපෙ) – විවෘත ආර්ථිකය තුළ බල්ලො මරලා හරි සල්ලි හොයන්න ක‍්‍රමයක් ඇති කළ පක්‍ෂයේ අය අද කියන කතා පුදුමයි.

අද කන්නේ වස විසද කියලා හිතන්න හරි අවස්ථාවක් ආවේත් වස විසෙන් තොර ආහාර නිපදවීම ගැන සිතන්නත් කි‍්‍රයාකරන්නත්

අවස්ථාවක් ආවේ මේ ආණ්ඩුව යටතේයි.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා (සජබ) – ෆාම් ඔයිල් එකවරම තහනම් කිරීම තුළ කඩල, රටකජු අලෙවි කරන කුඩා වෙළෙඳුන් අසීරුතාවට පත්විය හැකියි. ඒ නිසා ඔවුන් ගැනත් සලකා බැලීමක් කරන්න. විෂ සහිත පොල් තෙල් නිසා අවුරුදු සමය ජනතාවට සැමරීම ප‍්‍රශ්නයක්. පිළිකාකාරක අංශු ප‍්‍රමාණය ගැන රාජ්‍ය ආයතන දෙකක් කරන නිර්දේශ පරස්පරයි. පොල් සංවර්ධන මණ්ඩලයෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් ප‍්‍රමිති දෙකක් තියෙන්නේ. මොන ප‍්‍රමිතිය ද හරි කියලා ආණ්ඩුව රටට කියන්න.

කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සංජීව එදිරිමාන්න මහතා (ශී‍්‍රලපොපෙ) – අපේ ආණ්ඩුව ආවාට පස්සේ ප‍්‍රමිති ආයතනයට අලූතෙන් භාණ්ඩ 46 ක් පරීක්‍ෂාවට නම් කළා. පොල් තෙල් ද ඒ අතර වෙනවා. එහෙම නොවුනා නම් අදටත් විස තෙල් ගැන කවුරුවත් දන්නේ නැහැ.

කොරෝනා ව්‍යසනය මර්දනය කිරීම ලොව රටවල් දෙස බැලීමේදී හොඳ මට්ටමක ඉන්නවා. කොරෝනා හැදුනු පිරිසෙන් සියයට 97 ක් සුවය ලබා ගිහින්. එය ඉතාම හොඳ මට්ටමක්.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර හර්ෂ ද සිල්වා මහතා (සජබ) – ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂවරියගේ ප‍්‍රකාශය ගැන පරීක්‍ෂණයක් යන බව ආණ්ඩුව කියනවා. මහ කන්නයට ගෙනා පොහොරවල විස සංඝටක තිබෙන බවට ටිව්ටර් පණිවුඩයක සඳහන් වෙනවා.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා – කෘෂි කර්මාන්තයට පහර ගැසීමට බොරු ප‍්‍රචාර අරිනවා. කෘෂි කර්මාන්තය නැති කරන්න එපා.

පත්කළ මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමි (අජබප) – අපේ රටේ ආනයනය කළ භාණ්ඩ ලැයිස්තුව බැලූවොත් කොපමණ ප‍්‍රමාණයක් රටට ගෙනාවා ද කියන එක ප‍්‍රශ්නයක්. ලංකාවට ගෙන්වන පොහොරවල වස විස විශාල ලෙස තිබෙනවා කියලා මිට පෙර ආණ්ඩු සමයේදී හෙළි වුණා. දැන්වත් එය නිවැරැුදි කළ යුතුයි.

වරාය තුළ පරීක්‍ෂණ කරන්න විiාගාරයක් ඉක්මණින් පිහිටුවිය යුතුයි. එය පහසු කරුණක්. විස සහිත පොල් තෙල් ගෙන්වපු අයව තහනම් කිරීම ආණ්ඩුව ඉක්මනින් කළ යුතුයි. අපට මේ සඳහා ප‍්‍රායෝගික විසඳුමක් ලබාදිය හැකියි. රට තුළ අවශ්‍ය පොල් තෙල් ප‍්‍රමාණය නිපදවිය හැකියි.

ගෙන්වන ආහාරපානවල වස විස තිබෙන බව ඉකුත් වසර 10 තුළ විශාල ලෙස කතාබහ ඇති වුණා. එයට ජාතික ප‍්‍රමිතියක් අවශ්‍යයි.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා – දේශීය ගොවියාට මිලක් ලැබෙද්දී එය කඩාකප්පල් කිරීමට විපක්‍ෂය කටයුතු කරමින් ඉන්නවා. ගොවි ආර්ථිකයට පහර ගහනවා. අපේ දිස්ති‍්‍රක්කවල ගොවියාගේ ග‍්‍රාමීය ආර්ථිකය ඉදිරියට එමින් තිබෙනවා.

ගොඩනැගෙන දේශීය ආර්ථිකය විනාශ කරන්න එපා. අපේ ආණ්ඩුව ඉතා මහන්සියෙන් මේ ආර්ථිකය ගොඩනැගුවේ. එය නැති කරන්න එපා.

පාර්ලිමේන්තුව අද (07 දා) පෙරවරු 10.00 ට යළි රැස්වෙයි.