මෙවර දළදා පෙරහරේ ඇත්තු බතික් ඇඳුමින් සරසන්න බයක් හිතුනා, ඒත් හිතුවටත් වඩා හොඳට කෙරුණා

269

වෙනදා මෙන් ළඟටම ගොස් දැකබලා ගැනීමට බැරි වුවත් පසුගිය පෝය දවසේ නිමාවට පත්වූ මෙවර මහනුවර ඇසළ මහා පෙරහර රූපවාහිනිය හා අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ වාසනාව කොයි කාටත් ලැබුණි. කොරෝනා වසංගතය නිසා යම් යම් බලපෑම් සිදුවුවත් පෙරහරේ උත්කර්ෂවත් බවේ කිසි අඩුවක් නම් දකින්නට තිබුණේ නැත.

ඒ අතරෙත් පෙරහරේ වෙනදා නැති විශේෂත්වයක් නම් දකින්නට තිබුණා. ඒ තුන්වැනි කුඹල් පෙරහරේ සිට කරඬුව වැඩමවන මංගල හස්ති රාජයා ඇතුළු දෑලේ ඇතුන් නීල වර්ණ බතික් ඇඳුමින් සරසා තිබීමයි.

අතීතය මතක ඇති අයෙකුට නම් දළදා පෙරහරේ අලි ඇතුන්ට බතික් ඇඳුම් ඇන්දවීම අලුත් කතාවක් නොවේ. මීට තිස් වසරකට ඉහතදීත් එනම් 1991 වසරේදීත් පෙරහරේ ගමන්ගත් හස්තීන්ව බතික් ඇඳුමින් සරසා තිබූ අයුරු මතක ඇත්තෝ සිටිති. ඒත් එය ඒ වසරට පමණක් සීමා විය.

මහනුවර දළදා පෙරහරේ යන අලි ඇතුන් සැරසීම සඳහා අවශ්‍ය ඇඳුම් මැසීමට යොදාගන්නේ ඉතා වටිනා රෙදිපිළිය. ඒවා ගෙන්වන්නේ ඉන්දියාවෙනි. එසේම පෙරහරේ යන අලි ඇතුන් සඳහා වැඩිම ඇඳුම් ප්‍රමාණයක් මැසුවේ හින්දු බැතිමතෙක් වන ඉන්දීය ජාතික තදාන්ය. 

ඒත් මෙවර පෙරහරේ අලි ඇතුන්ට බතික් ඇඳුම් මසාදීම පිළිබඳ කතාවේ කතා නායකයා වන්නේ කෝට්ටේ පදිංචි ළහිරු අසංග ශ්‍රී නායකයි. අසංග ශ්‍රී නායක වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයෙකි.

එසේම කෝට්ටේ රජමහා විහාරයේ තරුණ සංගමයේ සාමාජිකයෙකි. කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික පෙරහරට ඇඳුම් නිර්මාණය කරන්නේද පෙරහරේ කටයුතු සංවිධානය කරන්නේද කෝට්ටේ රජමහා විහාරයේ තරුණ සමිතියයි. පෙරහරට මාස දෙකකට පමණ කළින් තරුණ සමිතියේ සාමාජිකයන් හතළිහක් පමණ එක් වී අලි ඇතුන්ගේ ඇඳුම් නිර්මාණය හා අනිකුත් සැරසිලි කටයුතු සංවිධානය කරති.

‘2013 අවුරුද්දේදී දළඳා මාලිගාවේ දියවඩන නිලමේතුමා අපට අවස්ථාවක් දෙනවා දළදා පෙරහරේ පෙරමුණේ යන ඇතාට සහ ගජනායක නිලමේතුමාට ඇඳුම් සපයන්න. මම ඒ කාර්යය එදා ඉඳලා මේ දක්වා නොකඩවා කරගෙන එනවා. ඒ අතරේ මට ලොකු ආසාවක් තිබුණා කරඬුව ගෙනයන ඇතාට ඇඳුමක් මහලා පරිත්‍යාග කරන්න.’ අසංග ශ්‍රී නායක මෙවර පෙරහරේ අලි ඇතුන්ට බතික් ඇඳුම් ලැබීමේ අවස්ථාව උදා වූ අයුරු ගැන කතාව පටන් ගත්තේ ඒ අයුරිනි.

ඒ අනුව ඔහු 2020 වසරේදී තම බලාපොරොත්තුව මලිගාවේ පෙරහරේ අලි ඇතුන් භාර ප්‍රදීප් මියනපලාවට සිය අදහස ඉදිරිපත් කරන්නේය.

ඒත් ප්‍රශ්නයක් තිබුණා. ඒ වෙනකොටත් බතික් නිර්මාණය කළ චානක පන්නිලගේ අදහස් දක්වමින්.‘‘ සංචාරක මඟපෙන්වන්නකු ලෙස මංගල හස්තින්ට ඇඳුම් සැපයීම භාරගත් අය හිටියා. ඒත් වාසනාවකට වගේ එහෙම භාරගත්තු එක් හිමිනමක් අපට ඒ අවස්ථාව ලබාදෙන්න කැමැති වුණා. ඒ අනුව තමයි අපට මේ වතාවේ කරඬුව වැඩමවන හස්ති රාජයින්ට බතික් ඇඳුමක් නිර්මාණය කරන්න පුළුවන් වුණේ. ඒත් මේ ඇඳුම් නිර්මාණය කිරීම සිතන තරම්ම පහසු කාර්යයක් වූයේ නැත. මක් නිසාද යත් එය පෙරහරේ අවශ්‍යතාවටත් දළදාවේ උරුමයටත් ගැළපෙන පරිදි විය යුතු නිසාය.

මේ ගැන කල්පනා කරපු මට මේ සඳහා සෝමාවති චෛත්‍යයේ ඇති දකුණු දළදාව ආරක්ෂා කරන හස්තීන්ගේ පිළිරුව හා දළදා මාලිගාවේ ලියවැල් ආදර්ශයට අරගෙන අපට අවශ්‍ය පරිදි සිතුවම් කරගත්තා. දිනේෂ් මල්ලවආරච්චි තමයි අපට ඒ වැඩේ කරලා දුන්නේ.’’

ශ්‍රී නායකලාට ඇඳුම් මැසීමේ හා චිත්‍ර කලාවේ නිපුණත්වයක් තිබුණත් බතික් නිර්මාණය දැන සිටියේ නැත. මේ අවස්ථාවේ ඔවුන්ගේ උදව්වට ඉදිරිපත් වන්නේ කෝට්ටේ පදිංචි චානක පන්නිලගේය.

‘‘මම වැඩ කළේ සංචාරක මගපෙන්වන්නෙක් හැටියටයි.’’ ශ්‍රී නායකලාට බතික් නිර්මාණය කරදුන් චානක පන්නිලගේ සිය කතාව ආරම්භ කළේ එලෙසෙනි. ‘‘පසුගිය කාලෙ පුරාවටම බලපෑ කොවිඩ් තත්ත්වය නිසා මමත් මගේ අනාගත සහකාරිය වන චලනිටත් දෙන්නටම රැකියාව නැති වුණා. මට බතික් කලාව ගැන දැනුමක් තිබුණා. සුළුවෙන් ඒ වැඩ කරලා තිබුණා.

නිසා ඒ බතික් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන කෝට්ටේ පන්සලට ගිහින් ආශීර්වාද ලබාගෙන අපේම ව්‍යාපාරයක් පටන්ගන්න. ඒ හරියටම මහනුවර පෙරහරේ කප් සිටවපු දවසේ. අපේ බතික් ව්‍යාපාරයට මගේ නැන්දා කෙනෙකුත් උදව් කළා. චලනිත් තාත්තත් උදව් කළා. ඒ අය කිව්වේ මේ ව්‍යාපාරයට අපි දෙන්නගේ නම දාන්න එපා කියලා. ඒ නිසා අපි අපේ ව්‍යාපාරය නම් කළේ ‘අපේ බතික්’ කියලා.

දවසක් අසංග කිව්වා මගේ යාළුවා ඇහුවා නුවර පෙරහරේ අලි ඇතුන්ට බතික් ඇඳුමක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම මට පුදුම හිතුනා මොකද අපෙත් ආසාවක් වගේම බලාපොරොත්තුවක් තිබුණා ටිකක් දියුණු වුණාම නුවර පෙරහරට බතික් ඇඳුමක් නිර්මාණය කරලා දෙනවා කියලා. ඒත් ඒ අදහස ළහිරු නිසා කලින්ම ඉෂ්ට කරගන්න පුළුවන් වුණා.’’ ඔහු කියන්නේ උතුරා යන සතුටිනි.

මේ කාර්යයේදී ඔවුන්ට උපකාරි වූ තවත් පිරිසක්ද වෙති. සුනිල් රබෙල්, ප්‍රසන්න ප්‍රනාන්දු, චානක දුමින්ද, රබෙල් පවුලේ අය හා ළහිරුගේ බිරිඳ ඉමේෂි කෞෂානි හා පවුලේ අයද ඒ අතර වෙති. මීට අමතරව හතරවැනි කුඹල් පෙරහරේ ඇතුන්ට ඇඳුම් සැපයූ සෞම්‍යා හේරත් ඇතුන්ට අවශ්‍ය ඇඳුම් මසා දීමේදී ඔවුන්ට උපකාරී වූවාය.

‘ඇත්තටම මේක භාරදූර වැඩක්. ඒ නිසා මුලදීම පුංචි චකිතයක් ආවා. ඒත් අපි බලාපොරොත්තුවෙන් හිටපු වැඩක් නිසා ආසාවෙන් භාරගෙන භක්තියෙන් වැඩේ කළා. මුලින් මුලින් පොඩි චකිතයක් තිබුණත් වැඩේ කරගෙන යනකොට අපට මේක පුළුවන් බව තේරුණා. 

අලි ඇඳුම් හදනකොට පිට රෙද්ද, නෙත්තිමාලය කන්දෙක වෙනවෙනම මිමි අරගෙන කරන්න ඕනෑ. අපි ඉතා ඕනෑකමින් භක්තියෙන් තමයි මේ ඇඳුම්වල නිර්මාණ කටයුතු කළේ. මේක අපට ලැබුණ භාග්‍යයක් කියලයි අපි හිත්නනේ.’’ චානක පන්නිලගේ කියන්නේ භක්තියෙන් යුතුවය.

එදා සිටහ දළදා පෙරහරේ අලි ඇතුන්ට ඇඳුම් සැපයීම එක් එක් අය විසින් භාරගැනෙති. ඒ සඳහා යොදාගන්නේ ඉස්තරම්ම වෙල්වට් රෙද්දයි. ඒවා ගෙන්විය යුත්තේ ඉන්දියාවෙනි. 

මේවායේ අධික මිල ගණන් නිසාම පසු කලෙක පෙරහරේ යන හස්තියන්ගේ ඇඳුම් සැපයීම ඇති හැකි ව්‍යාපාරිකයන්ට පමණක් සීමා විය. එහිදී ඇඳුම් සැපයූ ව්‍යාපාරිකයන් ඇඳුමේ කොනක ඔවුන්ගේ ව්‍යාපාර නාමය ප්‍රදර්ශනය කිරීමටද වගබලා ගත්තෝය. 

මේ පුරුද්දටම තිත තබන්නේද නුවර නගරයේම ප්‍රකට ව්‍යාපාරිකයකු වන තුසිත විජේසේනයි. ඒ අනුව පසුගිය වසර විසිහත තිස්සේම මහනුවර දළදා පෙරහරේ කරඬුව වඩම්මවන ඇතුට හා දෑලේ ඇතුන්ටත් සතරමහ දේවාලවල හස්තිරාජයන් දොළොස් දෙනාත් ඇතුළු හස්තීන් පහළොස් දෙනෙකුට ඇඳුම් සැපයීම ඔහු විසින් කෙරෙන්නේය. 

ඒ ඇඳුම් මැසීම කළේ මාලිගාවේ ඇඳුම් මැසීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන තදානි නමැති ඉන්දියානු සම්බවයක් සහිත හින්දු බැතිමතාය. පසුගිය වසරේ ඔහු මියගිය පසු දැන් ඒ කටයුතු කරන්නේ ඔහුගේ පවුලේ අය විසිනි.

මහනුවර දළදා පෙරහරේ යන අලි ඇතුන්ගේ ඇඳුම් පැලඳුම් සේම අලින් ගැනද ඇත්තේ රසවත් කතාබහය.

‘‘ඉස්සර මාලිගාවේ අලි ඇත්තු හිටියේ මාලිගාවේ නෙවේ ඇත් ගොව්වන්ගේ ගෙවල්වල. අපි දන්නේ නැහැ ඇත්ගොව්වෝ මේ අලි ඇතුන්ගෙන් නොයෙකුත් වැඩ ගන්නවා. මේ සතුන්ගේ කෑම බීම බේත් හේත් ගැනත් නිසි සෙවීමක් බැලීමක් සිදුවුණේ නැහැ. 

වත්මන් දියවඩන නිලමේතුමා මේ සියලු අලි ඇතුන් මහනුවරට ගෙනත් පෙරහරට පමණක් යොදාගන්න කටයුතු කළා. දළදා මාලිගාවේ ඇත් ගාල බිහිවුණේ එහෙමයි. අද මාලිගාවේ අලි ඇතුන්ට නොතෙමී ඉන්න ඇත් ගාලක් තියෙනවා. නාන තටාක දෙකක් තියෙනවා යැයි මාලිගාවේ ඇත් පන්තිය භාර ප්‍රදීප් මියනපලාව කියයි.

ඔහු කියන හැටියට අලින්ටත් මිනිසුන්ට වැලඳෙන සියලු ලෙඩ රෝග වැලඳෙන්නේය. ඒ නිසාම හැම ඇත්ගොව්වෙකුටම කෑම වට්ටෝරුවක් දී තිබේ. ඒ අනුව මාලිගාවේ ඇත් පන්තියේ හස්තීන්ට කෑමට දෙන්නේ කිතුල්, කොස් අතු හා පොල් අතු පමණි. එසේම නිරතුරුවම වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කෙරෙති.

ඇත්ගොව්වන්ට මාලිගාවේ සුවපහසු කාමර දීලා තියෙනවා. ඒත් ඔවුන් ඒ කාමරවල ඉන්නේ නැහැ. බොහෝ වෙලාවට ඔවුන් නිදාගන්නේ අලියා ළඟම පැඳුරක් එලාගෙන. පෙරහරේ යනකොට ලස්සනට පෙනුනත් ඔවුන්ට අඹුදරුවෝ එක්ක ඉන්න බැහැ. ගෙදර යන්න වෙන්නේ මාස ගණනකට වතාවක්. මොකද ඔවුන් නිතරම අලියා සමග ඉන්න ඕනෑ. මොකද නිතරමට ඔවුන් අලියා ගැන නිරීක්ෂණය කරන්න ඕනෑ නිසා යැයිද ප්‍රදීප් මියනපලාව පවසයි.

උපුටාගැනීම – අරුණ