මුදල් අච්චු ගැහුවට උද්ධමනය වැඩිවෙන්නේ නෑ

195

රටේ ඇත්තේ ඩොලර් හිඟයකි. ආනයන සීමාකර ඇති බැවින් මාස ගණනාවක් තිස්සේ ඇතැම් භාණ්ඩ වෙළෙඳපොළේ නැත. ඒ අතරේ ආර්ථික විශේෂඥයන් දිගින් දිගටම අනතුරු හඟවන්නේ රට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බවය. මේ කියන විදියට ඇත්තටම රටේ ආර්ථිකය කඩා වැටිලාද? ඒ ගැන මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ‘සති අග අරුණ’ ට අදහස් දැක්වූයේ මෙසේය.

රටේ ඇත්තටම ඩොලර් සංචිත හිඟයක් තියෙනවාද?

විදේශයන්ගෙන් අපේ රටට මෙම කාලයේදී ගලා ඒමට තිබූ මුදල් ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබීමට තිබූ මුදල් නොලැබී ගොස් තිබෙනවා. මේ කරුණු දෙක මත අද යම්කිසි පීඩනයක් තිබෙනවා. අපි එය පිළිගන්නවා.

නමුත් අපට යම්කිසි සංචිත ප්‍රමාණයක් තියෙනවා. එය ප්‍රමාණවත්. ණය ගෙවීමට, ආයෝජන කිරීමට හැකියාව සහ රාජ්‍ය පවත්වාගෙන යාමට අපට හැකියාව තියෙනවා.

ඔබ කියන තත්ත්වය දරුණු ආර්ථික පීඩනයක් නේද?

හැමෝම දන්නවා ආර්ථික පීඩනයක් තිබෙන බව. ගෙවීම් හා ලැබීම්වල තිබෙන පීඩනය ඊට හේතුවයි. ඊට විසඳුම් ගෙන තිබෙනවා. ආනයන සීමා කිරීම එක් විසඳුමක්. එය කෙටිකාලීන පියවරක්. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අඩුවීම නිසා ආණ්ඩුවද වියදම් අඩු කර ගෙන තිබෙනවා. පොඩි අපහසුතාවක් දැනේවි. එය සාධාරණයි. කොවිඩි වසංගතයේ බලපෑම් අඩුවෙලා මුදල් ගලා ඒම් වැඩි වනවිට අත්හිටුවා ඇති ක්‍රියාමාර්ග යළි ආරම්භ කරන්න පුළුවන්.

චීනයෙන් හා ඉන්දියාවෙන් ගන්නා කෙටිකාලීන ණය හේතුවෙන් ණය අර්බුදය අඛණ්ඩව තිබෙන බවට චෝදනාවක් තිබෙනවා?

චීනයෙන් පමණක් නොවෙයි, වෙනත් රටවලින්ද ණය අරගෙන තියෙනවා. විදේශ ආදායම් ලැබීමේ හිඟය ස්ථිර නැහැ. තාවකාලිකයි. එමනිසා කාලයට ඔබින විදිහට අපි ණය ගන්නවා. දිගුකාලීන ණය ගන්නකොට පොලී අනුපාතයත් වැඩියි. කෙටිකාලීන ණය ගන්නකොට අඩුයි. ඒ සියලු දේවල් සලකා බලා තමයි ආණ්ඩුව විදේශ ණය ගන්නේ.

ඉදිරියේදී කොපමණ ණය ප්‍රමාණයක් ගන්න සැලසුම් කර තිබෙනවාද?

විවිධ ආකාරයට අවශ්‍යතා අනුව තමයි ණය ගන්නේ. වර්තමානයේ ණය නොවන ගලා ඒම් කෙරෙහි දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එය ප්‍රතිපත්තියක්. මුදල් අඩු වුණොත් පමණක් ණය ගන්නවා. ණය ගන්නවාම කියන ප්‍රතිපත්තියේ නෙමෙයි අපි ඉන්නේ. ණය ගැනීම් අඩු කළ යුතුයි. ආයෝජන ගෙන්වා ගත යුතුයි.

ඇත්තටම ආයෝජන ලැබෙනවාද?

බොහෝ රටවල ආයෝජකයන් සිය රුචිකත්වය පෙන්වා දී තිබෙනවා. කොළඹ වරායේ ආයෝජනය කරන ලෙසට විවෘත ආරාධනාවක් කර තිබෙනවා. පහසුකම් දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. එම ආරාධනාව මත ආයෝජකයන් රුචිකත්වයක් දක්වා තිබෙනවා. මහ පරිමාණ ආයෝජන ක්‍රියාත්මක වීමට කාලයක් ගත වෙනවා. වැඩි කාලයක් ගතවීමට පෙර ආයෝජන රටට ලැබෙයි.

ඔබ ඔහොම ප්‍රකාශ කළාට හම්බන්තොට තෙල් පිරිපහදු ඒකකය සෑදීමේ ආයෝජනයත් වත්මන් රජය නතර කරලනේ?

අපේ රජය පැමිණි පසු ආයෝජන නතර කරලා නැහැ. අනවශ්‍ය ලෙස කළේ නැහැ. ඇතැම් ආයෝජන ප්‍රකාශ කළ ආකාරයට තිබුණේ නැහැ. ඇතැම් ආයෝජන පිටට පෙනෙන ප්‍රමාණය ක්‍රියාත්මක කිරීමේදී නොමැති බව හඳුනාගෙන තිබෙනවා. අපි ආයෝජන කියපු විදිහට ගෙනත් තිබෙනවා. ඊට සාක්ෂිත් තියෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න බය ඇයි?

රටේ මිනිස්සු දන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නා විට මොකද වෙන්නේ කියලා. මම එම අරමුදලත් සමග ගනුදෙනු කළ පුද්ගලයෙක්. ඔවුන් කොන්දේසි ඉදිරිපත් කරනවා. මම 2009 දී මෙම අරමුදලට ගොස් ප්‍රශ්න විසඳ ගත් නිසා කරුණු දන්නවා.

මොනවද ඉදිරිපත් කරන කොන්දේසි?

පළමුවෙන්ම කියනවා තිබෙන ණය ප්‍රමාණය ප්‍රතිසංවිධානය කරන්න කියලා. ගෙවන්න යන ණය නොගෙවා ඉන්නවා කියන එකයි එහි යථාර්ථය. ඉන්පසු කිසිම රාජ්‍යයක් ණය දෙන්නේ නැහැ. රාජ්‍ය සේවය වැඩියි, එය කප්පාදු කරන්න කියනවා. පොලී අනුපාත වැඩි කිරීමට යෝජනා කරනවා. බදු වැඩි කරන්න කියනවා. එවැනි දේවල් නොකර රට පවත්වාගෙන යා යුතුයි. විකල්ප මාර්ග සොයාගෙන රටේ තිබෙන ප්‍රශ්න නිරාකරණය කරගත යුතුයි. ඒ නිසා තමයි එන්නත්කරණය කර රට විවෘත කරන්න කටයුතු කරන්නේ. සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන්නේ එම නිසයි. පොලී අනුපාතය අඩු කරලා තිබෙනවා. වසර 72 කට පසුව හෝ ප්‍රශ්නයකදී කවුරු හරි ළඟට දුවනවට වඩා ස්වශක්තියෙන් නැගී සිටීම හොඳයි. අපේ ස්ථාවරය එයයි. අපට ඊට සැලසුම් තිබෙනවා.

රටේ සම්පත් විකුණා ආයෝජන ගැනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධයි නේද?

අපට තිබෙන සම්පත් අපි පාවිච්චි කළ යුතුයි. උපරිම ආකාරයට පාවිච්චි කළ යුතුයි. සම්පත දිහා බල බලා ඉඳලා වැඩක් නැහැ. කොළඹ තිබෙන ගෆූර් ගොඩනැගිල්ල හොඳම උදාහරණයයි. එහි පහළ මාලයේ මිනිස්සු මාළු අල්ලනවා. කොළඹ යොක් වීදියේ මාළු අල්ලන තැනක්ද අවශ්‍ය? සංචාරකයන්ට එන්න පුළුවන් හොඳ හෝටලයක්ද අවශ්‍ය? ඌන උපයෝජන ආයතන පවත්වාගෙන යාම ලොකු අවාසියක්. තවත් අතකින් බලන කල පාපයක්. එම ආයතන ආයෝජන බවට පත් කළ යුතුයි. දැනටමත් ක්‍රමවේද භාවිත කර තිබෙනවා. අලුත් ආදායම් මාර්ග ඇති කළ යුතුයි.

මුදල් මුද්‍රණය කිරීම උද්ධමනයට බලපා ඇති බවට චෝදනා තිබෙනවා?

භාණ්ඩාගාර බිල්පත් ආණ්ඩුව නිකුත් කරනවා. මහ බැංකුව ඉදිරිපත්ව ඒවා ගන්නවා. ඒක තමයි මුදල් අච්චු ගහනවා කියන්නේ. සමහර අවස්ථාවලදී අමාරු තීන්දු, තීරණ ගන්න සිදුවෙනවා. මෙයත් ශල්‍යකර්මයක් හා සමානයි. මුදල් අච්චු ගැසීමත් කල්පනා කර බලා අවශ්‍ය වේලාවට ගත් තීන්දුවක්. එය නතර කිරීමටත් වේලාවක් එනවා. මුදල් අච්චු ගැසීම තුළින්ම උද්ධමනය වැඩිවෙන්නේ නැහැ.

ඔබ කෙසේ කීවත් වෙළෙඳ පොළේ භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා?

එය තාවකාලිකයි. එම හේතුවට ප්‍රතිකර්මයක් කර තිබෙනවා. එය වේදනාකාරී වෙන්න පුළුවන්. එම වේදනාව ඉදිරියේදී අඩු වේවි. ඉවසීමෙන් ඉන්න. කොවිඩ් වසංගතයද මීට බලපා තිබෙනවා. හැමෝටම මෙම වසංගතය ප්‍රශ්නයක්. එම ප්‍රශ්නය ආණ්ඩුවටත් තියෙනවා.

ශ්‍රී ලංකාවත්, සිම්බාබ්වේ, ග්‍රීසිය වගේ රටවල් මෙන් බිඳ වැටීමකට ලක් වෙයිද?

අපේ රටත් ග්‍රීසිය, සිම්බාබ්වේ වැනි තත්ත්වයට පත් වෙනවා විපක්ෂයේ පක්ෂ මේ වනවිට රට පාලනය කළා නම්. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. රනිල්-අනුර වැනි ජෝඩු හිටියා නම් අද අපි සිම්බාබ්වේ වගේ වෙලා. ඒගොල්ලන්ගේ සිතුවිල්ල එයයි. එම අයට ප්‍රශ්නය තමයි එවැනි තත්ත්වයක් උද්ගත නොවීම. ණය ගෙවාගන්න බැරිවෙයි කියලා ප්‍රකාශ කළා. නමුත් අප ණය ගෙව්වා.

මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කළා බියගම මුද්‍රණාලයට වඳින්න ඕනි කියලා?

අනුර දිසානායකට එය තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ බියගමට ගිහින් මුදල් අච්චු ගහලා ලොරියක දාගෙන එනවා කියලයි. එය නොවෙයි වන්නේ. ඉතාමත් බොළඳ කතාවක් පාර්ලිමේන්තුවේදී කළේ. පක්ෂයක නායකයෙක් එවැනි ප්‍රකාශයක් කිරීම දුකයි. කාගෙන් හරි අහන්න තිබුණා.

ඩොලරයේ අගය 200 සීමාවේ පවත්වාගෙන යන්නේ බලහත්කාරයෙන් නේද?

එය හොඳ ප්‍රශ්නයක්. ඩොලරය අද නිල වශයෙන් යම්කිසි තැනක තියෙනවා. එලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපි සියලු දෙනාම සතුටු විය යුතුයි. එලෙස පවත්වාගෙන යාම නිසා තමයි භාණ්ඩ මේ මිලටවත් පාරිභෝගිකයාට ලැබෙන්නේ. ඩොලරය තවත් වැඩි වුණොත් භාණ්ඩ මිල ඉහළ යනවා. තෙල් මිල වැඩි වෙනවා. විද්‍යාත්මකව විවිධ මෙවලම් භාවිත කරලා ඩොලරය ස්ථාවර අගයක පවත්වාගෙන යනවා. මාස තුනක කාලයක් පවත්වාගෙන යනවා. යම් පීඩන තිබෙනවා. එය මම පිළිගන්නවා.

ගෑස් ප්‍රශ්නයට මොකද වෙන්නේ?

ගෑස් අලෙවි කරන එක් සමාගමකට ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා කියා අපට වාර්තා වී තියෙනවා. ඒ හිඟයත් අනෙක් ගෑස් සමාගමට සපුරාලන්න සිදුව තියෙනවා. වැඩි කාලයක් යාමට පෙර ප්‍රශ්නය විසඳෙයි. ගෑස් මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමෙන් පාරිභෝගිකයාට වාසියක් සිදුව තිබෙනවා. සමාගම්වලට පාඩුයි. මේක තමයි තුලනය කරනවා කියන්නේ.

වාහන ආනයන තහනමට විසඳුමක් ලැබෙයිද?

විද්‍යුත් වාහන ආනයනය කිරීමේ තීරණයක් තමයි ආණ්ඩුව ගෙන තිබෙන්නේ. එහිදී විදුලිය ජනනය කිරීමත් පුනර්ජනනීය ලෙස විය යුතුයි. දැනට ක්‍රියාත්මක විදුලිබල සැපයුමෙන් වාහන බැටරි ආරෝපණය කරනවා නම් ඉන් වැඩක් නැහැ. පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය කිරීම තුළින් ලොකු වාසියක් ලැබෙනවා. සූරිය කෝෂ යොදාගෙන එය කරන්න පුළුවන්. මොකද 2030 වනවිට මෙරට විදුලිය නිෂ්පාදනය 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් ගැනීමට තීරණය කර තිබෙනවා. අයවැයේදී මේ පිළිබඳ තවත් යෝජනා ඉදිරිපත් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිවාදය හමුවේ ආණ්ඩුවේ ඉලක්කය ජයගන්න පුළුවන්ද?

විවිධ වෙනස්කම් කිරීමේදී විවිධ මතවාද ඉදිරිපත් කරන අය ඉන්නවා. එය සාමාන්‍ය දෙයක්. ඊට අපි මුහුණ දෙනවා. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගත යුතුයි.

මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ වැඩපිළිවෙළට එරෙහිව කණ්ඩායමක් අධිකරණයට ගොස් තිබෙනවා. මොකද වෙන්නේ?

අසුබවාදී ලෙස හිතන්න අවශ්‍ය නැහැ කවුරු හරි නඩු දැම්මා කියලා. උසාවි තීන්දුවට හිස නමනවා. මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය ඇලවීම ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීන්දු කර තිබෙනවා. අධිකරණ තීන්දුව ලැබෙන තුරු අපි එය ක්‍රියාත්මක කළ යුතුයි. මෙම ස්ටිකරය මුද්‍රණය කරන ඉන්දීය සමාගම ප්‍රසම්පාදනයෙන් තෝරා ගත් එකක්. එහි ප්‍රශ්න තිබුණත් ස්ටිකරය අවශ්‍යයි. බොහෝ සමාගම් සුරාබදු නොගෙවා මත්පැන් නිපදනවා. ඒ නිසා ආදායම අඩු වෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවම මුදල් අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා විශාල සුරාබදු මුදලක් අහිමි වෙනවා කියලා. මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට අකමැති අයත් ඉන්නවා. බලවේග ක්‍රියාත්මක වෙනවා.

පොහොර තහනමත් අත්හිටුවා යළි මාස තුනකින් ක්‍රියාත්මක කළානේ?

යම් යම් පොහොර වර්ග ආනයනයට පමණක් අවසර ලබාදී තිබෙනවා. බලපත්‍ර ක්‍රමයක් යටතේ තමයි එය සිදු කරන්නේ. ඇතැම් වගාවන්වලට පොහොර අවශ්‍යයි. ලංකාවේ නිෂ්පාදනය ආරම්භ කළ පසු එය නතර කරන්න පුළුවන්.

මෙවර අයවැයෙන් ජනතාවට සහන ලැබෙනවාද? තවදුරටත් පටි තද කරගන්න වෙනවාද?

ජනතාවට දැනටමත් සහන රාශියක් ලැබී තිබෙනවා. කොවිඩ් වසංගතය කියලා ජනතාව මත අලුතෙන් බදු පැටවූයේ නැහැ. වැට් බදු, ආදායම් බදු අඩු කළා. පොලී අනුපාත අඩුකර තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට එන්නත්කරණය නිවැරදිව කරනවා. ජනතාවට අවශ්‍ය බඩු මලු, මුදල් දුන්නා. සංවර්ධන කටයුතු නතර කර නැහැ. රැකියා දෙනවා. මේ ආකාරයට සහන රැසක් දී තිබෙනවා.තවත් සහන දෙනවා නම් ආණ්ඩුවට නව ආදායම් මාර්ග හදා ගැනීමට අවශ්‍යයි.සහන මනසින් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. lසියලු දෙනා වැඩ කළ යුතුයි.

උදයජීව ඒකනායක