මීටර 100 කට වඩා දිගු හයේ පහරකට ලකුණු 8ක් ලබා දිය යුතු බව ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරක ආකාශ් චොප්රා පවසයි.

283

ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්විය යුතු නීති කිහිපයක් පිළිබදව ඉන්දීය හිටපු ක්‍රීඩක මෙන්ම විස්තර විචාරක ආකාශ් චොප්රා අදහස් දක්වා ඇත. මීටර් 100කට වඩා දිගු හයේ පහරකට ලකුණු 8ක් ලබාදීම ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස් විය යුතු නීති දහයක් පිළිබදව ඔහු සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් ප්‍රකාශ කොට ඇත.

කිරන් පොලාඩ්,ඇන්‍ඩ්‍ර රසෙල් වැනි ප්‍රහාරාත්මක පිතිකරුවන්ගේ දැවැන්ත හයේ පහරවලට වටිනාකමක් ලබාදීම වෙනුවෙන් ආකාශ් චොප්රා ඉහත යෝජනාව සිදු කොට ඇත.ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්විය යුතු යයි ආකාශ් චොප්රා අවධානය යොමු කළ නීති පහත පරිදිය.

01.මීටර් 100 ඉක්මවූ හයේ පහරක් සදහා ලකුණු 8ක් ලබා දිය යුතුය.

02.එක්දින තරගවලදී පන්දුවාර 50 යොමුකිරීමට පන්දු දෙකක් වෙනුවට එක් පන්දුවක් පමණක් භාවිතා කළ යුතුය.

03.පිතිකරුවාගේ හිසට ඉහළින් ඇදී යන වයිඩ් පන්දුවක් ලෙසින් සංඥා කළ පන්දුව,පන්දුවාරයේ යොමුකළ බවුන්සර් පන්දු ගණන සදහා ගණන් නොබැලිය යුතුය.

04.ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෙග් බයිස් ලකුණු ඉවත් කළ යුතුය.

05.විනිසුරුවරයා විසින් දැවීයාම ප්‍රකාශ කිරීමට පන්දුව අජීවී වන තෙක් රැදී සිටිය යුතුය.

06.සීමිත පන්දුවාර තරගවලදී පන්දු යවන්නෙකු කඩුලු දෙකක් දවාගතහොත් ක්‍රීඩකයෙකු සදහා නියමිත පන්දුවාර ගණනට වඩා එක් පන්දුවාරයක් වැඩියෙන් යැවීමට එම ක්‍රීඩකයාට අවසර ලබාදිය යුතුය

07.නියමිත වේලාවට පසුව යවන පන්දුවාර වලදී අමතර ක්‍රීඩකයෙකු යාර 30 සීමාව තුළ රැදවිය යුතුය.

08.බේල් ඉවත් නොවුනද පන්දුව කඩුල්ලේ වැදීමෙන් LED බල්බයන් දැල්වේ නම් එය දැවීයාමක් විය යුතුය.

09.Soft Signal නීතිය යාර 30 සීමාව තුළදී පමණක් වලංගු විය යුතුය.

10.අවශ්‍ය නම් තුන්වන විනිසුරුගෙන් උපදෙස් ලබාගැනීමට පිටියේ විනිසුරුට අවස්ථාව හිමිවිය යුතුය.

source – Creeda Sports Network