මාස්ටර් බ්ලාස්ටර්ත් COVID-19ට එරෙහිව සවියක් වෙයි

120

COVID-19 වෛරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ද කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ රැසක් අද (04) දිනයේ දී බෙදා දී තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් කිහිපයක් සඳහා වියළි සලාක බෙදා දීමට සනත් ජයසූරිය තීරණය කරන ලදි. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා සහ මහාචාර්ය අර්ජුන ද සිල්වා යන මහත්වරුන් සහ ප්‍රජාවගේ සවිය ඇතිව එම කටයුත්ත සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබී ඇත.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වා තිබුනි. ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් “නිවසටම වී ආරක්ෂිතව ඉන්න” යන පණිවුඩය ජනතාව අතරට රැගෙන යාම සඳහා විශාල දායකත්වයක් දක්වන ලදි.