මාලිංග ජාත්‍යන්තර T20 පිටියට සමුදෙයි

471

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු මීට පෙර ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගෙන තිබූ නමුත්, මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර පිටියට සමු දී තිබුණේ නැහැ.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද ඔහු ඇතුළත් නොවුණු අතර, ඒ අනුව මාලිංග ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

ඒ බව ඔහු අද පස්වරුවේ සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් නිවේදනය කළා.

“වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ..මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා.” යනුවෙන් මාලිංග කියා සිටියා.
“ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා. තෙරුවන් සරණයි! w w w w w o මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි ! ”

2014 වසරේ පැවැති 20යි 20 ලෝක ශූරතාවය ශ්‍රී ලංකාව ජය ගන්නා විට කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේ ලසිත් මාලිංගයි.