මාරු වී මිහිදන් කළ දරුවාගේ මළ සිරුර ගොඩගනී

394

මාරුවී මිහිදන් කරන ලද පිරිමි දරුවකුගේ සිරුරක් පෙරේදා (22) පානදුර වැඩබලන මහේස්ත‍්‍රාත් රංජිත් රුද්‍රිගූ මහතා ඉදිරියේ මිනුවන්පිටිය පොදු සුසාන භූමියේදී ගොඩගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ මවක් පසුගිය 30 දා පානදුර කේතුමති කාන්තා රෝහලේදී මළ දරු උපතක් සිදුකර තිබූ අතර එම මළසිරුර පානදුර මුලික රෝහලේ මෘත ශරීරාගාරයේදී හඳුනාගෙන පානදුර මිනුවන්පිටිය පොදු සුසාන භූමියේදී මිහිදන් කර තිබෙනවා.

එදිනම කහතුඩුව ප‍්‍රදේශයේ කාන්තවක්ද මළ දරු උපතක් සිදුකර ඇති අතර මිහිදන් කර ඇත්තේ කහතුඩුව ප‍්‍රදේශයේ කාන්තාව බිහි කළ මළසිරුර බවට පසුව හඳුනා ගැනීමෙන් අනතුරුව පානදුර පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත සිරුර ගොඩගැනීමට කටයුතු කළ බැව් පොලිසිය පවසනවා. ගොඩගත් මළ සිරුර පානදුර මුලික රෝහලට රැගෙන ගොස් ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරී උත්පල ආටිගල මහතාගේ උපදෙස් පරිදි ඊයේ පස්වරුවේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්‍ෂක චමින්ද පින්තු මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රෝහණ සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැරයන් කුමාර (40687) පරීක්‍ෂණ පවත්වනවා.

උපුටාගැනීම – දිවයින පුවත්පත