මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස එක්වීමේ සුදානමක්?

820

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහි වූ විශිෂ්ට නායකයෙකු මෙන්ම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීම සඳහා පැමිණිය යුතු බවට බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් සමාජ මාධ්‍ය තුළින් ඉල්ලීම් කරමින් සිටිනවා.

එවන් අවස්ථාවක මෙරට ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් විසින් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස එක්වීමේ සුදානමක් ඇති බවට වාර්තා කර තිබෙනවා.

එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් පසුව මහේල විසින් මෙම තනතුර භාර ගැනීමේ ඉඩක් ඇති බවටයි එම පුවත්පත වාර්තා කර තිබුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණයක් ගෙන නොමැති බවත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂි සලකුණක් වන අරවින්ද සිල්වා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව විසින් මෙම තීරණය ගැනීමේ සුදානමක් ඇති බවටත් එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා.

මහේලව මෙලෙස පුහුණුකරුවෙකු ලෙස සම්බන්ධ කරගැනීමට සුදානම් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අවුරුදු 19 පහළ කණ්ඩායම සඳහා බවයි සඳහන් වන්නේ.

2022 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවුරුදු 19 පහළ ලෝක කුසලානය සඳහා කණ්ඩායම පුහුණු කරගැනීමේ අරමුණින් මහේල ජයවර්ධනව පුහුණුකරුවෙකු ලෙස එක් කරගැනීමට සුදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පුවත තහවුරු කරගැනීම සඳහා මහේල ජවර්ධන සම්බන්ධ කරගැනීමට එම පුවත්පත උත්සාහ දරා තිබුණත් එය සාර්ථක වී නැහැ.

මෙරට ක්‍රිකට් ලෝලීන් බොහෝ පිරිසක් ද මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය භාරගනු ඇති බවට විශ්වාස කරමින් සිටිනවා.