මල් ශාලා පැය 24 ම වැඩ..ආදහනාගාරත් පිපිරී යාමේ අවදානමක් !

416

ගිය සතියේ සිට තොරතෝංචියක් නැතිව ගිලන් රථවල සයිරන් නළා හඬ අපේ කන්තෝරුව මායිමේ විජේරාම මාවතෙන්ද නිතර ඇසෙන්නට ගත්තේය. ‘‘ඔය ඇම්බියුලන්ස් එක අද දවසේ මෙතැනින් දහ දොළොස් වතාවක් ගියා’’ විජේරාම මාවත අයිනේ වාහනය නතර කරන තැන සිටි අපේ රියැදුරෙක් කීවේය. ප්‍රධාන පාරක ගිලන් රථවල සයිරන් හඬ නිතර ඇසීම අමුත්තක් නොවේ. ඒ පොඩි පොඩි ඉස්පිරිතාලවල සිටින අමාරු ලෙඩ්ඩු ගිලන් රියක දමා කොළඹට ගෙන යන්නේ ප්‍රධාන පාරවල් දිගේ බැවිනි. කොළඹ – නුවර, කොළඹ – ගාලු, කොළඹ – පුත්තලම ආදී ප්‍රධාන පාරවල් අයිනේ සිටින පදිංචිකරුවන්ට ගිලන් රියක සයිරන් හඬ එතරම් අරුමයක් නොවේ.

එනමුත් කොළඹ හතේ කුරුඳුවත්තේ නිසංසල බව රැයක් දහවල් නොතකා බිඳමින් ටික දොහක පටන් එහා මෙහා යන ගිලන් රථවල සයිරන් හඬ වැදෙන්නේ ‘ළඟ එයි මරු පිං කර ගන්නේ’’ මේ යන වැකිය අපට මතක් කර දෙන්නාක් සේය. මේ ගිලන් රථ යන්නේ නිකම්ම නොව කොළඹ නගර සභාවේ පී.එච්.අයි. මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේය. අනෙක් ගිලන් රථවල රෝගීන් යන්නේ ජීවිතය බේරා ගැනීමටය. නමුත් මේ ගිලන් රථවල පටවාගෙන යන්නේ අවසන් ගමන් යන කොරෝනා රෝගීන්ය. මේ මළ සිරුරු ගිලන් රථවලට දමා ගන්නේ පොලිස් මෘත ශරීරාගාරයෙනි. නැතිනම් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයෙනි. කොළඹ නගරයේ මිය යන රෝගීන්ගේ මළ සිරුරු ගෙන යන්නේ මේ මෝචරි දෙකටය. ලංකාවේ වැඩිම මළ සිරුරු ගණනක් එකතු වන්නේත් මේ මෝචරි දෙකටය. කොළඹ නගරයෙන් නාඳුනන පුද්ගලයන්ගේ මළ සිරුරක් හමුවුණොත් එය ගෙන යන්නේත් පොලිස් මෘත ශරීරාගාරයටය. කොළඹ ඇවිත් ගෙදර නොආවොත් හෝ ඔහු ඇය ගැන විපරම් කරන්නට බොහෝ දෙනෙක් අන්තිමට යන්නේ පොලිස් මෘත ශරීරාගාරයටය. පාර තොටේදී වාහනයකට හැප්පී මූණ චප්ප වී පරලොව ගියොත් ඒ මළ සිරුරු හඳුනා ගන්නාතුරු ඔවුන්ගේ නවාතැන පොලිස් මෝචරිය බැවිනි.

තමන්ගේ පවුලේ අයෙක් අතුරුදන් වී ඇතිනම් ඉස්සර ඇත්තෝ දවල් දොළහට ගුවන් විදුලියේ පොලිස් පුවත් ඇසූහ. පොලිස් මෝචරියේ ඇති මළ සිරුරුවල විස්තර කියන බැවිනි. සිරුරේ හැඩරුව අවසන් වරට ඇඳ සිටි ඇඳුම ආදී තොරතුරු ගුවන් විදුලියෙන් ඇසූ ඔවුන් පොලිස් මෝචරියට එන්නේ මළ සිරුරු හඳුනා ගැනීමටය. එසේ හඳුනා ගැනීමට නොහැකිව දෙදහස් දාහතේ සිට පොලිස් මෝචරියේ මළ සිරුරු හතළිහක් පමණ ගොඩ ගැසී තිබුණේය. පොතේ හැටියට නම් මහෙස්ත්‍රාත්වරයාගේ නියමයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ හා මරණ පරීක්ෂණ නොපවත්වා නාඳුනන මළ සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීමට නොහැකිය.

සුනාමිය හා යුද්ධෙන් පසු මිනිස්සු පොකුරු පිටින් මිය යන්නට පටන් ගත්තේ නම් ඒ දැන්ය. සුනාමියෙන් යුද්ධයෙන් මැරුණු අය මෙන් නොව කොරෝනාවෙන් මැරුණු අයගේ මළ සිරුරු බලන්නට ඥාතීන්ට අවසර නැත. ඔවුන් සියල්ලට අවසන් ගමන් යන්නට සිද්ධ වී ඇත්තේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර නැතිවය. කොරෝනාවෙන් ලංකාවේ පන්දහසකට වැඩි පිරිසක් මැරුණද මළ සිරුර අබියස ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නට ඉඩ ලැබුණේ සිරස චැනලය අයත් මහාරාජා අධිපති රාජා මහේන්ද්‍රන්ගේ දේහයට පමණි. ආගමික වතාවත් පමණක් නම් මදැයි. දේහය ගෙන යන්නට වී.අයි.පී. හර්ස් එකකුත් ලැබුණේය.

මහාරාජලාට එසේ වුවද කොරෝනාවෙන් මිය යන සාමාන්‍ය මිනිසුන්ට නම් හරිහමං පෙට්ටියක්වත් නැත. කොරෝනාවට පෙර නම් මල් ශාලාවට කී විට ඔවුහු මෝචරියට පැමිණ මළ සිරුර හර්ස් එකේ දමා රැගෙන යති. ඉක්බිතිව ෆෝමලින් ගසා නහවා අලුත් ඇඳුම් අන්දවා මේකප් දමා හැඩවැඩ කළ පෙට්ටියකින් ගෙදරට රැගෙන යති. එහෙත් කොරෝනාවෙන් මළොත් අවමංගල්‍ය ශාලාව කරන්නේ ඇණවුම් කළ පෙට්ටිය මෝචරියට භාරදීම පමණි. ඒ අතරේ පෙට්ටි ගන්න බැරි බොහෝ පිරිසක් ද වෙති.

ඉකුත් හත් වැනිදා අපි කොළඹ ජාතික රෝහලේ මෝචරිය ඉස්සරහට යන විට එහි රථ ගාලේ ත්‍රීවීලයකුත් බට්ටා ලොරියකුත් නවතා තිබුණේය. ත්‍රීවීලරයේ උඩ මිනී පෙට්ටියකි. බට්ටා ලොරියේ මිනී පෙට්ටි දෙකකි. ඒවායේ කැටයම් නැත. පොලිෂ් කර නැත. සැරසිලිද නැත. අඩි හයේ හතේ අඹ ලෑලි හතර පහක් එකතු කර යකඩ ඇණ ගසා හදපු එම පෙට්ටි මාළු පෙට්ටියක් වගේය.

එසේ නැතිව මිනී පෙට්ටියක කිසිදු හැඩයක් නැත. එය මිනී පෙට්ටියක් බව හිතුණේ පෙට්ටිය තිබුණේ මෝචරිය ළඟ නිසාය.

මින් පෙර හැඩවැඩ සැරසිලි නැති මිනී පෙට්ටි තිබුණේ සුනාමිය වෙලාවේය. මුහුදුබඩ ප්‍රදේශවල මිනී පෙට්ටියක් තියා ගිනි පෙට්ටියක්වක් සොයා ගැනීමට නොහැකි විය. සිංහල අලුත් අවුරුද්දටත් වැහෙන්නේ නැති මිනී පෙට්ටි සාප්පු ඉබි යතුරු දමා වසා දැමුණේ ඉල්ලුමට සැපයුම දෙන්නට බැරි නිසාය. මිනිස්සු මිනී පෙට්ටි සාප්පු වටකර පෙට්ටි ඉල්ලුවත් සාප්පුවේ දොරවල් ඇරුණේ නැත. දන්නා හඳුනන අයටවත් පස්සා දොරින් දෙන්නටත් පෙට්ටි තිබුණේ නැත.

මිනී පෙට්ටි සාප්පු වැහෙද්දී වඩු බාස්ලා කීප දෙනෙක් කරාපිටිය ඉස්පිරිතාලේ ඉස්සරහට අඹ ලෑලි ගෙනවිත් ජංගම පෙට්ටි අලෙවි හලක් දැම්මෝය. සැරසිලි නැතිව එම්බාම් නැතිව හෝ තම ඥාතීන්ගේ මෘත දේහයට අවසන් ගෞරව දෙන්නට හැදූ මිනිස්සු එම පෙට්ටි ගැනීමටත් පොර කෑහ. ටික වේලාවකින් ජංගම මිනීපෙට්ටිකාරයන්ටත් ඉල්ලුමට සැපයුම දෙන්නට බැරි විය. එය දුටු මට හිතුණේ සුනාමියට තුන් හතර දවසකට පෙර අපේ තාත්තා කරාපිටිය ඉස්පිරිතාලේදී මැරුණේ පූරුවේ වාසනාවකට කියාය. සුනාමිය කාලයේ ඔහුත් මැරුණානම් ඔහුටත් අවසන් ගමන් යන්නට සිදු වනු ඇත්තේ පෙට්ටියක් නැතිවය. පරලොව යනවා නම් ඒකත් වේලපහින්ම යා යුතු යැයි සුනාමියෙන් වසර දාහතකට පසුව මට හිතුණේ ජාතික රෝහලේ මෝචරියට ගිය වෙලාවේය. සුනාමිය වේලේ නීතිපොත අකුරට ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබුණේ නැත. එවකට සිටි අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහෙස්ත්‍රාත්වරුන්ට හා හදිසි මරණ පරීක්ෂකවරුන්ට උපදෙස් දුන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ නොපවත්වා මළ සිරුරු මතුපිටින් පරීක්ෂා කර මරණයට හේතුව නිගමනය කළ පසු භූමදානය කරන ලෙසය. පශ්චාත් මරණ පරීක්ෂණ නොපවත්වා වැඩිම පිරිසක් භූමදානය කළේ තෙල්වත්තේදී කෝච්චියෙන් ගමන් කරමින් සිටියදී සුනාමියට අහුවූ අයගේය.

කෙසේ වෙතත් කොරෝනාවෙන් තියා නිකං මැරුණත් මිනිය දාන්නට මෝචරියේ දැන් ඉඩ නැත. කවරදාවත් නැති විදියට පැය විසි හතර පුරාම මෝචරිය ඉදිරිපිට සෙනඟය. ගෑස් පෝලිම්, එන්නත් පෝලිම්, රෝගීන් රෝහලට ඇතුළත් කර ගැනීමේ පෝලිම් මදිවාට දැන් මෝචරිවලත් පෝලිම්ය.

කවුද මැරුණේ මම මිනී පෙට්ටියක් බැඳ මෝචරිය ඉදිරිපිට නතර කර තිබූ ත්‍රීවීලරයේ සිටි අයකුගෙන් ඇසුවෙමි.

‘‘තාත්තාට කිසිම අසනීපයක් තිබුණේ නෑ. එක පාරට අමාරු වුණා. ඉස්පිරිතාලේට ගෙනාවාම කොරෝනා කීවා. දවස් දෙකින් මැරුණා. අපට ඉතින් පෙට්ටි ගන්න සල්ලි නෑ. කොම්පඤ්ඤ වීදියේ හජ්ජියාර් කෙනෙක් තමයි මේ පෙට්ටි හදල නිකං අපට දෙන්නේ.’’ ඔහු කීවේය.

රෝහලේ මැරුණ කොරෝනා රෝගීන් පෙට්ටියට දාන්න පෙර දාන්නේ බොඩි බෑග්වලටය. බොඩි බෑග් වූ කලී ඉටි රෙද්දෙන් තැනූ එකකි. ඒ තුළට මළ සිරුර දැමූ පසු සීල් කෙරේ. ඊට හේතුව විෂබීජ පැතිරීම වැළැක්වීමටය. කොරෝනා මුල් රැල්ල ආ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල්ද අල්විස් රතු කුරුස සංවිධානයෙන් බොඩි බෑග් ලක්ෂයක් ඉල්ලා ලියුමක් යැව්වේය. ලියුම සමාජජාලාවලට ලීක් වීමත් සමග ආණ්ඩුවත් රත් වූවේය. රට්ටු බය වුණෝය. ‘‘එච්චර බෑග් මොටදැයි ඇසූහ.’’ කොරෝනාවේ එහෙම මැරෙනවා දැයි ප්‍රශ්න කළහ. එසේ ප්‍රශ්න කළ අපට දැන් දැන් උත්තර ලැබෙමින් ඇත්තේය. ගිය සතියේ සිට කොරෝනාවෙන් මැරෙන්නේ දිනකට ශතකය පන්නලාය. කොළඹ අවට ආදාහනාගාරත් පැය විසි හතරේම වැඩය. සෞඛ්‍ය සේවකයන් පමණක් නොව ආදාහනාගාරයත් හොඳටම හෙම්බත් වීලාය. එක දිගටම ආදාහනාගාර වැඩ කළොත් ඒවා පිපිරී යාමේ අවදානමක් ඇති බව ඒවායේ සේවකයෝ කියන්නේ ඒ නිසාය. රත්වන ආදාහනාගාරවලට කූල් වීමට දැන් වේලාවක් නැත.

කොරෝනා මළ සිරුරු කියලා දැන දැනත් අවසන් කටයුතුවලට සෙනඟ එන එන එක අපට ලොකු ප්‍රශ්නයක්. ආවා විතරක් මදැයි එයාලා පෙට්ටිය ඇරලා, මිනිය බලන්න ඉල්ලනවා. එහෙම කරන්න බෑ කීවාම අපෙත් එක්ක රණ්ඩු වෙනවා. ඕනෑම අයෙක් තමන්ගේ අම්මා තාත්තා නෝනා සැමියා දරුවාගේ මිනිය බලන්න කැමැතියි. ඒත් අපි කියලා මොනව කරන්නද මහත්තයෝ. ආදාහනාගාර සේවකයන් කියන්නේ එසේය.

ආදාහනාගාර සේවකයන් කියන කතාවෙත් ඇත්තක් තිබේ. තමන්ගේ ඥාතියාගේ මුහුණ අවසන් වරට දකින්නට කොයි කවුරුත් කැමැතිය. මුහුණ නොදැක්කොත් හිතෙන්නේ තම ඥාතියා මිය ගොස් නැතැයි කියලාය. අතුරුදන් වූවන්ගේ ඥාතීන් හැමදාමත් පාර බලන් ඉන්නේ ඒ නිසාය. මළ සිරුර ඇසින් දකින තුරු ඔවුන් මිය ගියේ නැතැයි කියා ඔවුහු විශ්වාස කරති. එසේ බලන විට මේ වෙලාවේ කොරෝනා රෝගීන්ගේ ඥාතීහුත් අසරණය. සෞඛ්‍ය නිලධාරීනුත් අසරණය. මේ සසර දනව්වේ අප අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ‍! යනුවෙන් ගුණදාස කපුගේ ගැයූ ගීතය අපගේ ඇස් ඉදිරිපිටම සැබෑ වෙමින් ඇත්තේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකලා දොස්තරලා හෙද හෙදියන් උපස්ථායකවරුන් පමණක් නොව ගිලන් රථ රියැදුරන්ගේ විඩාබර මුහුණුවලින් කියැවෙන්නේ දැන් නම් රේස් එක දුවා ගන්නට අමාරු බවය.

‘‘උදේ ඉඳන් මේ අදින්නේ දාහතරවැනි බොඩිය. බොරැල්ල කනත්තේ ඉඩ නැති නිසා මාලඹේ, තලාහේන, කොටිකාවත්ත ඇතුළු සෑම තැනටම මිනී ගෙනවිත් පුච්චනවා. ගිලන් රථ රියැදුරෙකු කීවේය.

මිනී පුච්චන්න අකැමැති නම් කොරෝනා මෘත දේහ රැගෙන යන්නේ මඩකලපුවේ ඔට්ටාමාවඩියි සුසාන භූමියටය. මළ සිරුරු තුනහතරක් එකතු වූ විට කොළඹ සිට එකවර එහි ගෙන යනු ලැබේ. බොහෝ විට එහි රැගෙන යන්නේ ආදාහනයට අකැමැති ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරුය. ඒ බිමේ ඉකුත් සතිය වන විට මළ සිරුරු එක් දහස් තුන්සිය පනස් පහක් වළලා තිබුණේය. තව වළලන්නට ඉඩක් නැති බැවින් අම්පාරේත් සුසාන භූමියක් වෙන් කර තිබේ. මෙහෙම තව ටික දොහක් ගියහොත් ඒ සුසාන භූමියේ අඩි හයක් පොළෝ කුහරයක සදාකාලීක නින්දට යන්නට ඔබටත් මටත් ඉඩක් නැති බව නම් නිසැකය.

මිහිරි ෆොන්සේකා