මන්නාරමේ පිපිරිමකින් ළමුන් දෙදෙනෙකුට තුවාල

469

මන්නාරම මඩු පොලිස් වසමේ ඉරනේරුප්පුකුලම්, මාන්කෙන්ඩි ප්‍රදේශයේදී බිම්බෝම්බයක් පුපුරා යාමෙන් අවුරුදු 12ක් වයසැති ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අද (25) දින රෝහල්ගත කල බවට මඩු පොලීසිය පවසයි.

මාන්කෙණ්ඩි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක අදාල ළමුන් දෙදෙනා සෙල්ලම් කරමින් සිටියදී වලදමා තිබූ අදාල බිම් බෝම්බය දැක ළමුන් දෙදෙනා විසින් බෝම්බය ගැලවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී බිම් බෝම්බය පුපුරා ගොස් ඇති බවට පොලිස් මූලික පරික්ෂණ වලදී හෙලි වී ඇත.

බිම් බෝම්බය පුපුරා යාමෙන් බරපතල තුවාල ලැබූ ළමුන් දෙදෙනා මඩු පොලීසිය විසින් වවුනියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී එක් ළමයෙකුගේ තත්වය බරපතල බවටද පොලීසිය පැවසීය.

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල බිම්බෝම්බය වල දමන්නට ඇති බවට සැක පල කරන අතර බිම් බෝම්බය පුපුරා යාමෙන් තුවාල ලබා ඇත්තේ මාන්කෙණ්ඩි ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි ළමුන් දෙදෙනෙකු බවට පරික්ෂණ සිදු කරන මඩු පොලීසිය වැඩිදුරටත් පැවසීය.