මගේ රජය ගැන මම ආඩම්බරයි කී ජනපති ට්විටර් පණිවිඩය රිවස් කරයි

616

දකුණු ආසියානු කලාපයේ මුලින්ම ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් ලබාගත් පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවත් ඒ නිසාවෙන් තම රජය පිළිබඳ තමන් සතුටු වන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

ඒ ෆයිසර් එන්නත් මාත්‍රා 26000ක් අද පෙරවරුවේදී ශ්‍රී ලංකාවට ගෙන්වීමත් සමගයි.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ට්විටර් පණිවිඩයේ සඳහන් පරිදි ෆයිසර් එන්නත ලබා ගන්නා පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව නොවන බව මාලදිවයිනේ පිහිටි යුනිසෙෆ් සංවිධානය විසින් 2021 මාර්තු 25 වැනිදා සිය නිල ට්විටර් ගිණුමේ ඡායාරූපද සහිතව ෆයිසර් එන්නත් මාත්‍රා 5,850ක් ලබා දුන් බවට කර ඇති සටහන  ඔස්සේ පෙනී යනවා.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කර තිබු ට්විටර් පණිවුඩය ඉන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇති බව ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම පරීක්ෂා කිරීමේදී පෙනී ගියා.