BREAKING NEWS
Search

මගී ප්‍රවාහනයේ නියුතු බස් රථ රියැදුරන් 5000ක් නුසුදුස්සෝ

168

මෙරට පෞද්ගලික බස් රියැදුරන් විසිදහසක් අතරින් පන්දහසකට අධික ප්‍රමාණයක් මගීන් ප්‍රවාහනය කිරීමට නුසුදුස්සන් බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ඒ.අල්විස් ප්‍රකාශ කර සිටිනවා.

මෙම රියැදුරන් පන්දහසට ගමනා ගමන කොමිසන් සභාවේ ප්‍රවීණතා සහතිකය හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්ගේ අවසරය නොමැති බවයි ඔහු සඳහන් කර සිටියේ.

බස් රථ රියැදුරන් විසිදහසකට මගී ප්‍රවාහනය පිළිබඳ පුහුණුව සහිත අනුමැතිය ලබාදී ඇතත් එයින් පන්දහසකට අධික පිරිසක් වෙනත් රැකියාවලට ගොස් ඇති බවත් ඒ වෙනුවට මගී ප්‍රවාහනය පිළිබඳ පුහුණුව නොමැති මෙම පන්දහසක පිරිස රැකියාවට පැමිණ ඇති බවද තොරතුරු ලැබී ඇත.

මගී ප්‍රවාහන සඳහා සුදුසුකම් නොමැති රියැදුරන් සම්බන්ධ‍යෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පොලිසිය වෙත උපදෙස් දී ඇතැයිද ලේකම්වරයා සඳහන් කර සිටියේ.

එමෙන්ම මගී ප්‍රවාහනය සඳහා සුදුසුකම් සපුරා නැති රියැදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලිසිය සතු වගකීමක් බවත් බරවාහන බලපත්‍රය පිටුපසෙහි PT යනුවෙන් (Passenger Transport) සඳහන්​ නොවූ කිසිවකුට මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් සඳහන් කර සිටියේ.

බර වාහන රියැදුරු බලපත්‍රය වසර තුනක් පැරණි වීම,රියැදුරු වයස අවුරුදු 23-65 යන වයස්වල පසුවීම,මගී ප්‍රවාහනය පිළිබඳ පුහුනුව ලබාසිටීම,වෛද්‍ය පරීක්ෂණය සමත් වීම,කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ වූවකු නොවීම ඇතුළු සුදුසුකම් කිහිපයක් මගී ප්‍රවාහනය සඳහා අනිවාර්යෙන්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

මෙවන් රියැදුරන් හඳුනාගනිමින් මගී ප්‍රවාහනය පිළිබඳ දෙසතියක නේවාසික පුහුණුවක් ලබාදීමටත් යුද හමුදාව හා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හරහා එම පුහුණුව දීමටත් ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

මෙරට තුළ ලංගම බස් රථ 6300ක් සහ පෞද්ගලික බස් රථ 20,000ක පමණ ප්‍රමාණයක් ධාවනය වන අතර ශ්‍රී ලංගම රියැදුරන් මගී ප්‍රවාහනය පිළිබඳ පුහුණුව සම්පූර්ණ කර තිබේ. මගීන් 14 දෙනකුට දිවි අහිමි කරමින් පස්සර ප්‍රදේශයේ දී පසුගියදා අනතුරට ලක් වූ පෞද්ගලික බස් රියේ රියැදුරුද භාවිත කර ඇත්තේ ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් බව තහවරු විය