BREAKING NEWS
Search

භික්ෂුන් වහන්සේට ඩ්‍රයිවින් ලයිසන් දෙන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

354

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් භික්ෂුන් වහන්සේට රියැදුරු බලපත්‍ර ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන් අයැදුම්පතක් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරිමින් බෞද්ධාගම හා භික්ෂුන් වහන්සේ අපකීර්තියට හා අපහාසයට පත් කිරීමට කිසියම් පිරිසක් විසින් සිදුකරගෙන යන සැලසුමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විහාරාධිපති,පරිවේණාචාර්ය හා පාඨශාලාචාර්ය තනතුරු දරන භික්ෂුන් වහන්සේට පමණක් එම රියැදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට හැකි බවද එම අයැදුම්පත මඟින් පෙන්වා දී තිබේ.

ඒ සඳහා ඉල්ලුම් කරන භික්ෂුන් වහන්සේ තමන්ගේ සම්පූර්ණ නම,ස්ථිර ලිපිනය,දුරකථන අංකය,උපන් දිනය,පැවිදි වූ දිනය,උපසම්පදා වූ දිනය,විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක්ද යන බව,පාසලක හෝ පිරිවෙනක සේවය කරන්නේ නම් සේවා ස්ථානය,දරන තනතුර,පැවිදි කළ ආචාර්යවරයාගේ නම,ලිපිනය,පැවිදි කළ විහාරස්ථානයේ නම,අයත් නිකායපාර්ශ්වය,පදිංචි දිස්ත්‍රික්කය, අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් නිපුණතා හා සුදුසුකම් පිළිබඳව තොරතුරු එම අයැදුම්පත්‍රය මඟින් විමසා තිබේ.

තවද ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරැදිද යන්න පිළිබඳව සනාථ කර සිය අස්සන එහි යොදන ලෙසද එම අයැදුම්පතේ සඳහන්ය.

මෙරට භික්ෂුන් වහන්සේට රියැදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට නීති ප්‍රතිපාදන නැතිව තිබියදී ඒ බව දැන දැනත් කිසියම් පිරිසක් සිදුකර තිබෙන මෙම ක්‍රියාව කෙරෙහි බුද්ධශාසන අමාත්‍යාංශයේද දැඩි අවධානය යොමුව ඇති බවද අනාවරණය වෙයි.

‘මව්බිම’මේ පිළිබඳව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගෙන් විමසීමේදී ඒ මහතා කියාසිටියේ,මෙරට සම්බුද්ධ ශාසනය හා භික්ෂුන් වහන්සේ අපහාසයට ලක්කිරීම හා අපකීර්තියට පත් කිරීමේ අරමුණ ඇතිව කිසියම් පිරිසක් විසින් මෙම ක්‍රියාව ඉතාම සැලසුම් සහගතව සිදුකරන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන බවය.

තම අමාත්‍යාංශය භික්ෂුන් වහන්සේට රියැදුරු බලපත්‍ර ලබාදීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවද එය මෙරට නීතියෙන්ද තහනම් කර ඇති බවද පැවැසූ මහාචාර්ය ගුණවර්ධන මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් වැඩිදුරටත් කියාසිටියේ, මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් මේ වනවිටද ඉදිරිපත් කර ඇති බවත් තවද මහ නායක හිමිවරුන්ද දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය.

මෙම සිද්ධියට කිසියම් අයකු විත්තිකරුවකු වුවහොත් ඒ පුද්ගලයන්ට උපරිම දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා පැවැසීය.

මව්බිම