බෞද්ධ සංවිධාන මිනිස් ජීවිත විනාශ කරලා නෑ

87

පාස්කු කොමිෂන් සභා වාර්තාව තුළින් ‘බොදු බල සේනා’ සංවිධානය තහනම් කළ යුතු බවට නිර්දේශ කිරීම නිසා මෙරට බෞද්ධ සංවිධාන යම් කැලඹීමකට පත්ව ඇති පසුබිමක රට අගාධයට ඇද දැමීමේ වගකීම මෙරට දුර්දාන්ද භික්ෂූන් වහන්සේලාද භාරගත යුතු බවට සංඝ සමාජය තුළින්ම හඬ නැගේ. මේ වනවිට ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරකට භික්ෂුන් වහන්සේ නමක් නාම යෝජනා භාරදී ඇති අතර මෙවැනි නිර්දේශ, ප්‍රකාශ, සිදුවීම් මෙරට බෞද්ධ ගිහි සමාජය සහ භික්ෂු සමාජය කෙරෙහි බලපෑම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, මැදගම ධම්මානන්ද හිමියන් සමග කළ සංවාදයයි මේ.

පසුගියදා පාස්කු කොමිෂන් සභා වාර්තාව එළිදැක්වුණා. එම වාර්තාවෙන් බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවටත්, ඇතැම් බෞද්ධ සංවිධාන පිළිබඳ සොයා බැලිය යුතු බවටත් නිර්දේශයන් ඉදිරිපත්වී තිබුණ. ඒ පිළිබඳව අස්ගිරි පාර්ශ්වය ලෙසින් ඔබවහන්සේ දක්වන්නෙ මොන වගේ ප්‍රතිචාරයක්ද?

ඒ නිර්දේශය පාස්කු කොමිසම තමන් ස්වාධීනයි කියල පෙන්නන්න කළ නිර්දේශයක් වගේ තමයි පේන්නෙ. මුස්ලිම් සංවිධාන පමණක් අන්තවාදීයි කියල පැවැසුවොත් ඒක මධ්‍යස්ථ වෙන්නෙ නැහැයි කියල හිතල, මේ වාර්තාව සමබර කරන්න බොදුබල සේනා වැනි බෞද්ධ සංවිධානත් අ න්තවාදියි කියල සඳහන් කළා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ රටේ ඉතිහාසය පුරාම බෞද්ධයන් සංවිධානගත වෙන්නෙ රටට, ජාතියට යම් හානිකර තත්ත්වයන් ඇතිවෙද්දි. බෞද්ධයන් අන්‍යාගමිකයන්ටවත්, අන්‍ය ජාතිකයන්ටවත් කිසිදාක නිකරුණේ එරෙහිව වුණේ නෑ. මෑත ඉතිහාසයේ බෞද්ධයන් අන්‍යාගම්කරණයට ලක්කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. ඒ මොහොතේ ගංගොඩවිල සෝම හාමුදුරුවන් නැගූ හඬ නිසා අන්‍යාගම්කරණයට එරෙහි විවිධ සංවිධාන බිහිවුණා. අවසානයේ භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තු යෑම දක්වා ඒ තත්ත්වය වර්ධනය වුණා.

බොදු බල සේනා වැනි සංවිධාන බිහිවීමට හේතුවුණෙත් ඉස්ලාම් අ න්තවාදය. එම සංවිධානවල ක්‍රියාකාරීත්වය සහ සංවිධානය වීම පිළිබඳ යම් යම් විවේචන තියෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල එම සංවිධාන වටා තරුණ පිරිස් එකතුවීමෙන් ආවේගකාරී තත්ත්වයන් මතුවුණා. වර්තමානයේ ඉස්ලාම් අන්තවාදය අපේ ජන සමාජය දරුණු විදිහට කලඹන්නට කටයුතු කළා. අපි දැක්ක බුදුපිළිම විනාශ කරනව. ඒ වගේ තැන්වල අපේ තරුණ භික්ෂුන් වහන්සේ යම්කිසි ආකාරයක ආවේගශීලීව අදහස් දැක්වූ අවස්ථාව තිබුණ. නමුත් ඉන් එහා ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කරන්න කටයුතු කළේ නෑ.

කිනම් අන්තවාදයකට වුවත් ආවේගශීලීව හෝ අ න්තවාදයෙන්ම පිළිතුරු ලබාදීමට යෑමෙන් අනවශ්‍ය ගැටුම් නිර්මාණය වන බවත් එය බෞද්ධයන්ට නොගැළපෙන බව පවසමින් තමයි ඇතැමුන් මේ බෞද්ධ සංවිධාන විවේචනය කරන්නෙ…

බෞද්ධ සංවිධාන අ න්තවාදයට පිළිතුරු සැපයුවා නම් ඒ කළේ වාචිකව. ඒ වාචික ප්‍රතිචාර තුළ ආවේගශීලී බවක් තිබුණා වෙන්න පුළුවන්. නමුත් කවදාවත් කාටවත් පහරදෙන්න අපේ භික්ෂුන් වහන්සේල කටයුතු කළේ නෑ. අ න්තවාදීන් බෝ ම්බ ගහල මිනිස් ජීවිත විනාශ කළා. සහරාන්ල අපේ දළදා පෙරහරට පහරදීමට සැලසුම් කර තිබුණු බවට කොමිසමේදී තොරතුරු හෙළිවුණා. හැබැයි බෞද්ධ සංවිධාන කිසිම මිනිස් ජීවිතයක් විනාශ කරන්න කටයුතු කළේ නෑ. මුස්ලිම් දේවස්ථාන විනාශ කරන්න බෞද්ධ භික්ෂුන් වහන්සේ ගියේ නෑ.

මේ රට අතීතයේ ඉඳලම විනාශ කළේ අධර්මිෂ්ඨ පාලකයොයි, දුර්දාන්ද භික්ෂුන් වහන්සේ බව අත්තංගනේ රතනපාල හිමියන් පසුගිය දිනක පවසා තිබුණා…

අපේ ඇතැම් භික්ෂුන් වහන්සේලා ඉන්නව ඔවුන් පටු දේශපාලන මතවාදවලට කොටුවෙලා. සමාජ පන්ති භේදයන් නිසා ධනපති පන්තිය විනාශ කළ යුතුයි හඬ නගන භික්ෂූන් වහන්සේලා තමයි එහෙම කියන්නෙ. ඒ හාමුදුරුවරු වෛරී දේශපාලන මත පතුරුවන කණ්ඩායම්වල අතකොළු බවට පත්වුණු අය. ඒ වගේම ඇතැම් භික්ෂූන් වහන්සේ මාධ්‍ය මගින් කැපී පෙනෙන චරිත බවට පත්වීමට අදහස් දක්වනව.

එහෙම ස්වරූපයන් මේ සංඝ සමාජයේ තියෙනව. අනෙක් එක අපේ රට පාලනය කරපු නරක පාලකයො වගේම හොඳ පාලකයොත් හිටිය. භික්ෂූන් වහන්සේලාට හොඳින් සලකපු පාලකයො වගේම භික්ෂුන් වහන්සේලා ඝා තනය කළ පාලකයොත් හිටිය. වෙහෙර විහාර කඩපු පාලකයොත් හිටිය. හැබැයි සමස්තයම එහෙම වැරැදි කළේ නෑ. සිංහල භික්ෂුව මේ රටට කරපු ඓතිහාසික කාර්යභාරයක් තියෙනව. ඒක අමතක උදවිය තමයි එහෙම කියන්නෙ.

ක්‍රිකට් පාලක මණ්ඩලයෙ තනතුරකට තරග කිරීමට භික්ෂුන් වහන්සේ නමක් ඉදිරිපත් වෙලා ඉන්නව. මෙවැනි දේ හරහා භික්ෂු පරමාදර්ශයන් කෙලෙසීමට ලක්වෙනව නේද? ඇයි එහෙම භික්ෂුන් වහන්සේලාට එරෙහිව විනය පියවරයන් ගන්න බැරි? ඇයි මහනායක හිමිවරු එවැනි දේ අබියස නිහඬ…?

අපි බොදු බල සේනාව ගනිමු. ඥානසාර හිමියන්ගේ ක්‍රියාකාරීත්වය අපි බොහෝ දෙනාම හොඳින් දන්න, දකින දෙයක්. උන්වහන්සේ ඇතැම් තැන්වලදී ආවේගශීලීයි. ඒ කියන්න බෑ රටේ ඉන්න හැම භික්ෂුන් වහන්සේ නමක්ම ඒ විදිහයි කියල. නමුත් ජාත්‍යන්තරව සිංහල භික්ෂුවගෙ ප්‍රතිරූපය මේකයි කියල පෙන්නන්න ඥානසාර හිමියන් ආවේගශීලීව හැසිරුණු ඇතැම් ඡායාරූපයන් භාවිත කරනව.

ඇතැම් භික්ෂූන්ගේ හැසිරීම් නිසා සමස්ත සංඝ සමාජයටම හානිකර තත්ත්වයන් උදාවෙනව. ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරකට භික්ෂුවක් ඉදිරිපත් වීම කිසිසේත්ම කළ යුතු දෙයක් නෙමේ. ඒව භික්ෂුවට කිසිම අදාළත්වයක් නෑ. ඒක ඕනම කෙනකුට තේරෙන දෙයක්. බුදුදහමෙ විනය ගැන කතාකරද්දි ස්වයං විනය තමයි ප්‍රමුඛ වෙන්නෙ. අපි පන්සිල් ගත්තත් ‘සමාදියාමි’ මම සමාදන් වෙමි කියලනෙ කියන්නෙ. ස්ව කැමැත්තෙන්ම තමයි තමන්ගෙ හැසිරීම් රටාව හදාගන්නෙ. ඒක ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් වෙනසක් නෑ. ඒ නිසා තමන් තුළ හික්මීම හදාගැනීම තමයි පළමු කාරණය. ඒක නොවන අවස්ථාවලදී බුදුහාමුදුරුවො විනය නීති පැනෙව්ව. භික්ෂුවක්, භික්ෂුත්වයෙන් එළවන්න පුළුවන්වෙන්නෙ සතර පාරාජිකා වුණාමයි. ඒකත් කරන්නෙ බොහොම සුපරික්ෂාකාරීව විනය විභාග පවත්වල.

මේ කාලවකවානුයේ අපේ භික්ෂුන් වහන්සේලා අතර තමන් හිතු හිතූ දේ කරන අය ඉන්නව. ඒ අය කිසිම කෙනකුට ඇහුම්කන් දෙන්නෙ නෑ. තමන්ගෙ උපාධ්‍යයන් වහන්සේලාට හෝ මහනායක හිමිවරුන්ට එම භික්ෂුන් වහන්සේලා නතු වෙන්නෙ නෑ. තමන් පිළිබඳව අධි තක්සේරුවක තමයි ඉන්නෙ. එහෙම පිරිසක් ඉන්න බව පිළිගන්නව. අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එක්ක පෙළපාළි යන හාමුදුරුවරු ඉන්නවනෙ. තමන්ට අදාළ නැති දේවල්වලට තමයි අද භික්ෂුන් වහන්සේලා මැදිහත්වෙන්න යන්නෙ.

භික්ෂූන් වහන්සේගේ සමාජ කාර්යභාරය පිළිබඳ ඇති අනවබෝධයද මීට හේතුවෙලා තියෙන්නේ…

සමස්තයම නෙමේ. භික්ෂු සමාජයෙම යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුළ අනුන්ගෙ මෙහෙයුම් මත කටයුතු කරන පිරිසක් ඉන්න බව පේනව.

විහාර හා දේවාලගම් පනත පිළිබඳ සමාජය තුළ යළි කථිකාවක් ඇතිවෙලා තියෙනව. එය සංශෝධනය වෙන්න ඕන බවටත් යම් යම් යෝජනා ඉදිරිපත් වුණා. ඒ සඳහා ඔබවහන්සේලාත් කාලයක් මැදිහත්වෙලා හිටිය. ඒකට මොකද වුණේ…?

රටේම එකම නීතියක් තිබිය යුතුයි කියන බලාපොරොත්තුව යටතේ තමයි වත්මන් ආණ්ඩුව වටා බොහෝ දෙනා එකතුවුණෙ. ඒ ඔස්සේ ඉස්ලාම් කාති උසාවි වැනි දේවල් අහෝසි කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වුණා. එම උසාවිවලට විරෝධය මුස්ලිම් සමාජය තුළින්ම ආව. මොකද එවැනි උසාවි නිසා මුස්ලිම් සමාජයේම ඇතැම් පිරිස් පීඩාවට පත්වෙලා හිටපු නිසා. ඒක වෙනස් කරනව නම් විහාර හා දේවාලගම් පනතත් වෙනස් කළ යුතුයි කියන වගේ අදහසක් තමයි මුලින්ම ආවෙ.

විහාර හා දේවාලගම් පනත සංශෝධනය වෙන්න ඕන කියන එක 2010ටත් සිට ආපු එකක්. 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන දීර්ඝ කාලයක් සාකච්ඡා කරමින් විහාර හා දේවාලගම් පනත ඇතුළු පනත් පහක් සංශෝධනය කළා අපේ මහා විහාරත් එක්ක එකතුවෙලා බුද්ධ ශාසන අමාත්‍යාංශය තුළදි. සමස්තයක් වශයෙන් විහාර හා දේවාලගම් පනතේ සුබවාදී දේ බොහොමයක් තියෙනව. බෞද්ධ විහාරස්ථාන සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්න බව පේනව නම්, ඒකට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඉදිරිපත්වෙලා, ඒ පන්සල සතු ඉඩම අත්පත් කරදෙන්න උසාවි ගිහින් නීතිමය කටයුතු කරන්න ඕන. ඒ වගේම මේ පනතෙ තියෙනව දියවඩන නිලමේ පත්කිරීම සම්බන්ධ ඡන්ද අයිතියක්. එතනදි ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ 1715ට පෙර හිටපු 4න් 1 වගන්තියට අහුවෙන විහාර හා දේවාලගම්වල භාරකාරයන්ටත් එම ඡන්ද අයිතිය හිමියි.

එහෙම ඡන්ද තුන්සිය ගණනක් තියෙනව දියවඩන නිලමෙවරයා පත් කරගන්න. මෙතනදි ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් ඡන්ද බලය තිබීම නිසා එම ඡන්දවලින් යම් යම් දෙනා හැසිරවීමේ හැකියාවක් ලැබෙනව. ඒ දේශපාලන බලපෑම් පිට. ඒක නිසා විහාර හා දේවාලගම් පනතට යෝජනාවක් ගෙනත් සංශා්ධනයක් දැම්ම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දියවඩන නිලමේ පත් කිරීමට තියෙන ඡන්ද බලය ඉවත් කිරීමට. අනෙක් කාරණය මල්වතු අස්ගිරි පාර්ශ්වය දෙකෙන් තමයි මාලිගාවේ කටයුතු කරන්නෙ, ඒත් අපිටවත් ඡන්ද බලයක් නෑ දියවඩන නිලමේ පත්කිරීමේදී. ඒ නිසා ඡන්ද බලය සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත්වුණ වෙලාවෙ ඒක මුල්කරගෙන ලොකු ආන්දෝලනයක් ආව. අපි සංශෝධනය කරපු පනත පාර්ලිමේන්තුවට දාල පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙක් ඒක තිබුණ. පසුගිය යහපාලන ආණ්ඩුව කාලයෙ කිරිඇල්ල හිටපු ඇමැතිවරයා ඒක පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙක් අයින් කරල දැම්ම. ඒකට හේතුවුණෙ දියවඩන නිලමේ පත්කිරීමේ ඡන්දය සම්බන්ධ කාරණාව.

විහාර හා දේවාලගම් පනත යටතෙ විහාරස්ථාන සතු ඉඩම් සම්බන්ධයෙන් තියෙන නඩු කටයුතු ඉක්මන් කරන්න දිමු ජයරත්න හිටපු අගමැතිවරයා වෙනම උසාවි දෙකක් ඇතිකරල තිබුණ. නමුත් ඒව එහෙම්ම අක්‍රීය වුණා. එහෙම ප්‍රධාන පෙළේ නඩු දෙසිය ගාණක් තියෙනව. ඒව තියෙන නීති රාමු යටතෙ ඉක්මනින් විසඳල දෙන්න කියල ලිඛිතව මහනායක හාමුදුරුවන්ගෙ මාර්ගයෙන් වර්තමාන අධිකරණ ඇමැතිවරයගෙන් මම පෞද්ගලිකව ඉල්ලීමක් කරල තියෙන්නෙ.

මේ වෙද්දි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන අන්තවාදීන්ගෙ ග්‍රහණයට හසුව තියෙනව. එවැනි කරුණු සම්බන්ධයෙන් බෞද්ධ උපදේශන සභාවෙදි ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරලීමට ඔබවහන්සේලාට හැකිව තියෙනවද?

පැහැදිලිවම ජනාධිපතිවරයාගෙ අවධානය ඒ කෙරෙහි යොමුකරන්න අපි කටයුතු කරල තියෙනව. නැගෙනහිර පුරාවිද්‍යා කළමනාකරණ ජනාධිපති බළකායක් දැනටමත් තියෙනව. මමත් එහි සාමාජිකයෙක්. නමුත් සියල්ල එකවර සිද්ධ වෙන්නෙ නෑ.

ජනාධිපති උපදේශන සභාවෙදි අපි දෙන උපදෙස්, සාරවත් දේ මාධ්‍ය තුළින් ප්‍රචාරය වෙන්නෙ නෑ. මම එතනදි පෞද්ගලිකව කිව්ව දේ තමයි මාධ්‍යවලට දෙන්න ඕන අපි කතා කරන සාරවත් දේ කියන එක. නැත්නම් ජනතාව හිතන්නෙ අපි රජය වර්ණනා කරනවා, රජයට ආවඩනව කියල. ඒක ජනාධිපතිතුමාටත් හොඳ නෑ. ජනතාව හිතනව ජනාධිපතිතුමත් හාමුදුරුවරු ගෙන්නගෙන වර්ණනා කර ගන්නව කියල. අස්ගිරි මහා විහාරය විදිහට අපි ප්‍රසිද්ධියේ මාධ්‍යයෙන් නිවේදනය නොකළට පෞද්ගලික මට්ටමින් ජනාධිපතිතුමාව, අගමැතිතුමාව රටට සංවේදී කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කරනව.

වර්තමානය වෙද්දි මූලධර්මවාදී ආගමික නිකායන් මෙරට ජන සමාජය ආක්‍රමණය කරමින් තියෙනව. ‘බෝන් එගේන්’ කල්ලිය නිසා සමාජය නැවත ඒ ගැන කතාකරන්න පටන් අරන්. ඒනිසා අන්‍යාගමික පනත ගැනත් නැවත හඬ නැගෙනව. කලින් කලට මෙරට මතුවන මෙවැනි අන්‍යාගමික කල්ලි මැඬලීම පනතකින් පමණක් කළ හැකිද?

අන්‍යාගමික පනත ගැන අදහස ආපු මුල් කාලයේ අන්‍යාගම්කරණය ක්‍රියාත්මක වුණ ආකාරයයි අද ක්‍රියාත්මක ආකාරයයි වෙනස්. එදා මූලධර්මවාදී කණ්ඩායම් ගම්වලට ගිහින් දිළිඳු පවුල්වලට වැසිකිළි පෝච්චියක්, ටකරන් ටිකක් දීල තමයි ආගම මාරුකෙරෙව්වෙ. හැබැයි අපි ගිහින් කරුණු කාරණා පැහැදිලි කළාම ඒ අය ඒ මිථ්‍යාදෘටියෙන් මිදුණ. නමුත් අද තත්ත්වය එහෙම නෙමේ. අද මේ අන්තවාදී කණ්ඩායම් මේ රටේ ඉහළ පෙළේ දේශපාලන චරිත අල්ලගෙන, ඉහළ පෙළේ ප්‍රභූවරුන් අල්ලගෙන තමයි වැඩේ කරගෙන යන්නෙ. කිනම් දේශපාලන අධිකාරියක හෝ අනුග්‍රහය එයට ලැබීම නිසා ඔවුන්ට එරෙහිව සිදුකරන කටයුතු අවසන් මොහොතේදී ව්‍යර්ථ වෙනව. බෝන් එගේන් වැනි කල්ලි නිසා සාම්ප්‍රදායික කිතුනු දහමත් තර්ජනයට ලක්වෙලා. කාදිනල්තුමා පවා ඒක ප්‍රකාශ කළා.

පසුගිය 13 වැනිදා අස්ගිරි-මල්වතු විහාරවලට නව ආණ්ඩුක්‍රමයක් සැකසීමට පත්කරල තියෙන කමිටුව පැමිණියා. ඒ පැමිණි වෙලාවෙ අපි අවධාරණයට ලක් කළ කාරණයක් වුණෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහම සම්බන්ධයෙන් 9 වැනි වගන්තියේ සඳහන් කාරණාව තවදුරටත් ශක්තිමත් කිරීමට උපවගන්ති ඇතුළත් විය යුතු බවට. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදහස් ගැනීමට ත්‍රෛනිකායික මහ නායක හාමුදුරුවන්ගෙ නියෝජනය සහිත භික්ෂූන් වහන්සේගෙන් යුත් යම් මණ්ඩලයක් සැකසිය යුතු බවටත්, එම මණ්ඩලයෙන් ඉදිරිපත් වන යෝජනාවලට යම් බලාත්මක බවක් තිබිය යුතු බවත් පැවැසුවා. ඊළඟට 14 වගන්තියෙ තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධ කොටස. එම කොටසට අයථා බලපෑම් මගින් ආගම් මාරුකිරීම වළක්වාලන්නට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න යෝජනා කළා. එහෙම වුණාම අමුතුවෙන් අන්‍යාගම්කරණය නවත්වන්න පනත් ඕන නෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනව. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25වැනි වගන්තියෙ එවැනි නීතිමය ප්‍රතිපාදන තියෙනව. ආගමක් නිදහසේ ඇදහීමේ අයිතිය කිසිසේත් අපි අභියෝගයට ලක් කරන්නෙ නෑ. නමුත් අයථා ක්‍රම මගින් ආගම්වලට හරවන්න කිසිකෙනකුට අයිතියක් නෑ. කොහොම වුණත් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තිබුණු තත්ත්වය සලකා බලද්දි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙනත් එය සම්මත කර ගැනීමත් විශාල අභියෝගයක්.

සංවාදය – ලක්මාල් බෝගහවත්ත