බෞද්ධයන් විශාල වශයෙන් අන්‍යාගමිකකරණය වෙනවා ඒ ගැන සුපරික්ෂාකාරී වන්නැයි අගමැති මහින්ද සංඝරත්නයෙන් ඉල්ලයි

199

සියලු පාර්ශ්වවල එකඟත්වය ලැබෙන්නේ නම් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන පනත මීළඟ පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති ආගමික උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ 18 වැනි ජාතික මහා සම්මේලනය අද කොළඹදී පැවැත්වුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“මේ වෙලාව මම හිතන විධියට අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය.

මේක ව්‍යාප්ත වෙන්නේ වැඩිහිටියන් අතර නොවෙයි. ළමයි අතරේ.

ඉස්සර කාලේ ළමයෙක් දුම්වැටියක් බීලා අහුවුනොත් ඉස්කෝලෙන් අස්කරන තරමේ වරදක්.

අද ගංජා, කුඩු, අයිස් වගේ භයානක රසායනික මත් ද්‍රව්‍යත් පාසල් අසල විකුණනවා. කිලෝ ගණන් අහුවෙන්නේ.

මේවා ජාතියක් වශයෙන් පිරිහෙන ලක්ෂණ.අපි සියලුදෙනා එකතු වෙලා මත්ද්‍රව්‍ය උවදුරින් දරුවන් බේරා ගත්තේ නැත්නම් අපි පිරිහීමට ලක්වෙනවා.

ඒ වගේම අන්‍යාගමිකකරණය අපි නොදන්නා විදියට යම් යම් ආයතනවල යම් යම් පුද්ගලයෝ මගින් සිදුවෙමින් තිබෙනවා.

බෞද්ධ පවුල්, පාරම්පරික බෞද්ධ පවුල් ක්‍රමාණුකූලව වෙනත් ආගමිවලට හැරෙමින් තිබෙනවා.

අපි නොදැනුවත්ව ඒ දේ වෙන්නේ.

මම දැක්කා මගුල් ගෙදරකට ගියාම ඒ අය සියලු දෙනා වෙන ආගමකට හැරිලා තියෙන හැටි.

අපිට විශාල වගකීමක් තිබෙනවා.

මේ සඳහා ගරුතර සංඝරත්නයේ විශේෂ අවධානය යොමු කර තමන්ගේ ගම ගැන දායකයින් ගැන සුපරික්ෂාකාරීව කටයුතු කරන්නයි ඉල්ලා සිටිනවා.”