BREAKING NEWS
Search

බෞද්ධයන්ට පන්සල් යෑමට අනිවාර්ය දිනයක් -අගමැති යෝජනා කරයි

127

සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ බෞද්ධයන් ලෙස පන්සල් යෑම අනිවාර්ය කළයුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පුත්තලම,මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

ඊට සමගාමීව මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීම ද සිදුවිය.

විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති දේවහන්දියේ සද්ධානන්ද නායක හිමියන් බැහැදැක අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනයට සුබ පැතුම් එක් කළේය.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ,

“අපේ තරුණ දූ දරුවන් ආගමික කටයුතුවලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා ගතයුතුයි.එසේ නොවුනොත් සිදුවන්නේ විශාල විනාශයක්,දරුවන් දහම්පාසල් යැවීම බෞද්ධ ජනතාවට අනිවාර්ය කළයුතුයි.අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසිපරිදි සිදුවෙනවා.අද බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්වෙලා.නමුත් අනිත් ආගම්වල ආනිවාර්යයෙන් ඉරිදා පල්ලි යනවා.බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි.පන්සල සමග ඇති සබදතාව දරුවන් තුළ ඇති කළ යුතුයි.එසේ නොවුනොත් ගමත් පන්සලත් ඈත් වෙනවා.සමාජය නිවැරදි මගක ගෙනියන්න නම් ගමත් පන්සලත් එකට පවත්වාගෙන යා යුතුයි.”

“ගමේ පන්සල තමයි කේන්ද්‍රස්ථානය,ගමේ ජනතාවට පන්සල සමග කටයුතු කරන්නට අවස්ථාව සලසා දීලා ජනතාව යහපත් ජීවිතයකට හුරු කරවීම අපේ වගකීමක්.”