බෑනාටත් රහසේ දියණියගේ දරු ගැබ විනාශ කරන්න හැදු මව

917

බෑනාට හොර රහසේ සිය 24 හැවිරිදි ගැබිණි දියණිය කෑගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් වලව්වක සඟවාගෙන දරුගැබ විනාශ කිරීමට කටයුතු කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් මව කොළඹ පිහිටි දෙපාර්තමේන්තුවක රාජ්‍ය කළමනාකාර සහකාරවරියක බව ද පොලිසිය සඳහන් කරනවා.

ජෝතිෂවේදිකයකුගේ අනාවැකියක් පිළිගත් මෙම මව මේ ආකාරයෙන් දියණියගේ දරුගැබ විනාශ කිරීමට කටයුතු කර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණයවී තිබෙනවා.

අවුරුදු 24 මාස 10ක් යන තෙක් තම දියණියට දරුවකු ප්‍රසූත කිරීම සුදුසු නොවන බව එම ජ්‍යොතිෂවේදියා පවසා තිබෙනවා.

ඒ අනුව දරුවකු ලැබීමට සූදානම් වූ දියණිය බෑනා නැති අතරේ පැහැරගෙන ගොස් මේ ආකාරයෙන් දරු ගැබ විනාශ කිරිමට සූදානම් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගැබිණි දියණියට කිසියම් පෙති වර්ගයක් බීමට සලස්වා ඇතැයි ද සඳහන්.

ගැබිණිය රඳවා සිටි නිවෙසින් හොර රහසේ පැන කෑගල්ල නගරයට පැමිණ තම සැමියාට සියලු විස්තර දන්වා තිබෙනවා.

ඒ අනුව පෑලියගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත කිරිබත්ගොඩ පොලිසියට එහි විමර්ශන බාරදීමෙන් පසු මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.