බැසිල් දැන් රජෙක්: ගම්පහ කෝකිලා දේවි බැසිල්ව කාවන්තිස්ස රජුට අන්දයි

688

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ප්‍රසිද්ධ වීමත් සමග විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් බැසිල් රාජපක්ෂ මහතාව ප්‍රසිද්ධියේම වර්ණනා කිරීම දක්නට ලැබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන කෝකිලා ගුණවර්ධන මහත්මියද එම වැඩ පිළිවෙලට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතාව කාවන්තිස්ස රජුගේ චරිතයට අන්දවා තිබෙනවා.

මහින්ද දුටුගැමුණු – බැසිල් කාවන්තිස්ස

බැසිල් රාජපක්ෂ මහතා අති දක්ෂයකු බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය දුටුගැමුණු රජතුමා යුද්ධ කරද්දී කාවන්තිස්ස රජතුමා මහා ධාන්‍ය එකතු කළා මෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරයා හැටියට යුද්ධය කරන විට ඊට සහාය දෙමින් බැසිල් රාජපක්ෂ මහතා කාවන්තිස්ස රජු මෙන් ආර්ථිකය කළමනාකරණය කළ බවයි මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

මන්ත්‍රීවරිය බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව කරන මෙම හැඳින්වීම තුළ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා දුටුගැමුණු රජතුමා හා සංසන්දනය කර තිබෙන බවයි පැහැදිලි වන්නේ.

කොටි ත්‍රස්තවාදය පරාජය කළ අවස්ථාවේද එවකට සිටි ජනපති මහින්ද රාජපක්ෂ මහතාව බොහෝ දෙනා දුටුගැමුණු රජතුමාගේ චරිතය හා සංසන්දනය කිරීම දක්නට ලැබුණා.

බැසිල් ළඟදීම පාර්ලිමේන්තුවට

එළැඹෙන 8 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු අමාත්‍යවරයකු ලෙස ද දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2010 – 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ මහතා දැරූ ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය මෙවරද ඔහුට වන බවයි වාර්තා වන්නේ.