බංගලි ක්‍රීඩකයන්ට තහනම් වූ LPL

3988

නොවැම්බර් 14 වැනිදා ඇරඹීමට නියමිත Lanka Premier League (LPL 2020) තරගාවලියට සහභාගී වීමට කිසිදු බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඉඩ නොදෙන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) විසින් නිවේදනය කර ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ LPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ එරට දේශීය ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීමට සිදු වීමෙන් කාර්යබහුල වීමට සිදුවීම නිසා LPL තරගාවලියෙහි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් දැකීමට හැකියාවක් ඇතැයි නොසිතන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති Nazmul Hasan මහතා මෙම තීරණය පිළිබඳ අදහස් ප්‍රකාශ කර තිබේ.

ඔක්තෝබර් 1 වනදා පැවැත්වීමට නියමිත LPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඇතුළත් විදෙස් ක්‍රීඩකයින් 150 අතර සිටින සුපිරි ක්‍රීඩකයින් අතරට ICC විසින් 2019 ඔක්තෝම්බර් මාසයේදී තරඟ තහනමක් පනවා තිබූ බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan ද ඇතුළත් බව මීට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබූ අතර ඔක්තෝබර් 28 වැනිදා ඔහුගේ තරග තහනම ඉවත් වීමටද නියමිතය.

Shakib Al Hasan ට අමතරව Mushfiqur Rahim, Mahmudullah Riyad, Mustafizur Rahman, Sabbir Rahman සහ Mohammad Saifuddin ඇතුළු තවත් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු LPL ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් වී තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිර්දේශ කළ දින 14 ක අනිවාර්ය නිරෝධායනය කාල සීමාවට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය එකඟ නොවීමත් සමඟ ක්‍රිකට් මණ්ඩල දෙක අතර ඇතිවුණු අර්බුදය BCB හි මෙම තීරණයට හේතුව ලෙස ක්‍රිකට් විශ්ලේෂකයින් පෙන්වා දෙන අතර මේ වන විට දින නියමයකින් තොරව කල් ගොස් ඇති මෙම බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය හේතුවෙන් මීට පෙර LPL තරගාවලිය කල් යෑමේ අවදානමක්ද පැවතුණි.
FM & TV Sri Lanka