පෞද්ගලික බස් සංගම් කිහිපයක් වැඩ වර්ජනයක

107

පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

තම බස් රථ සදහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව පවසමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මේ අතර ලංකා බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේ ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබෙන පසුබිමක ගාස්තු සංශෝධනයක් සිදුකිරිම සදහා රජය පියවර ගැනීමට විරෝධය පළ කරමින් දිවයිනේ මාර්ග කිහිපයක බස් රථ, ධාවනයෙන් ඉවත් වන බවය.

ලංකා පෞද්ගිලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් රථ ධාවනයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණයේ වගකීම ප්‍රවාහන අමාත්‍යවරයා විසින් භාරගත යුතු බවය.

කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහත දමා තිබේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කළේ ලංකා ගමනා මණ්ඩලයට සහ පෞද්ගලික යන දෙඅංශයටම අදාළ වන පරිදි සාමාන්‍ය සේවා බස්රථවල ගාස්තු සියයට 11 යි දශම 14කින් පහළ දමා ඇති බවය.

ඒ අනුව රුපියල් 38ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා අඩුවී තිබේ.