පී.සී.ආර් වේදනාවට හෙදියකගෙන් පළිගත් හිමිනම

1297

පී.සී.ආර්.පරික්ෂණයේදී වේදනාවක් ඇතිවීමෙන් කෝප වූ හිමිනමක් හෙදියකට පිඟානකින් පහරදීමේ සිද්ධියක් ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික රෝහලේ කෝවිඩ් ඒකකයේ රාජකාරි වල නිරතව සිටි හෙදියක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ආණමඩුව කුමාරගම විහාරස්ථානයක හිමිනමක් විසිනුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.

උණ හා සෙම් රෝගයක් හේතුවෙන් ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කර සිටි අදාළ හිමිනමගේ පී.සී.ආර් පරික්ෂණය අදාළ හෙදිය විසින් සිදුකර ඇති අතර එහිදී තමන්ට වේදනාවක් ඇතිවූ බව පවසමින් අදාළ හිමිනම එම ස්ථානයේ තිබූ වීදුරු පිඟානක් ගෙන හෙදියට පහරදී තිබෙනවා.

පහරදීමෙන් තුවාල ලැබූ හෙදිය එම ස්ථානයේ ඇදවැටී ඇති අතර පසුව රෝහල් කාර්යමණ්ඩලය විසින් බරපතළ තුවාල ලැබූ හෙදිය ප්‍රතිකාර සඳහා රෝහල් ප්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

බරපතළ තුවාල ලැබූ අදාළ හෙදිය පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පහරදීම සිදුකළ හිමිනම පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.