පිළියන්දල සහා කහතුඩුව 65දෙනාට කොරෝනා නැති බවට තහවුරු වෙයි.

337

පිළියන්දල හා කහතුඩුව ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකල 65දෙනාට කොවිඩ් 19 වැළදී නොමැති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

කොවිඩ් 19 වැළඳුණු රාගම පෞද්ගලික රෝහලක කළමණාකාර අධ්‍යක්ෂකවරයෙකුගේ 1 වසරේ අධ්‍යාපනය ලබන දරුවාට  උපකාරක පංතියක් පැවැත්වූ ගුරුවරිය ඇතුළු 65 දෙනකු මෙලෙස පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.

රෝහල් කළමනාකාරවරයා  මධ්‍යස්ථානයේ ආරාධිත උපදේශකවරයෙකු හැටියට සේවය කරන අතරතුර දී කොරෝනා රෝගය වැළඳීමත් සමග සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයට අනුව ඔහුගේ පවුලේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටද කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබුණි.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා විමර්ශන සිදු කිරීමේදී සය හැවිරිදි දරුවා පිලියන්දල සිද්දමුල්ල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වී ඇති බවට තහවුරු වී තිබීමත් සමග එහි උපකාරක පන්ති ගුරුවරිය ඇතුළු 65 දෙනකු ඉකුත් දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

මේ සඳහා කහතුඩුව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලීය බල ප්‍රදේශවල පිරිසක් සහභාගී වී තිබුණි .

තවදුරටත් එම පිරිස දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා වැඩිදුරටත් කීය.
(අරුණ.lk)