පිරිමින්ගෙන් වැඩ ගත්තම පව් සිද්ධ වෙනවද?

184

දවසක් මගේ සායනයට අවුරුදු විස්සක විතර පිරිමි දරුවෙක් ආවා. ඉගෙනුමටත් බොහොම දක්ෂ නිසා ඔහු වෛද්‍ය පීඨයට තේරිලා. නමුත් ඊටපස්සෙ තමයි ඔහුගේ ප්‍රශ්නේ පටන් අරන් තියෙන්නේ. අම්මා පොඩි කාලේ ඉඳලම මේ දරුවට කිසිම වැඩක් තනියම කරගන්න දීලා නැහැ. කොටින්ම කිව්වොත් එයාට කරගන්න තිබුණේ අතට දෙන ඇඳුම අඳින එකයි, සපත්තු කුට්ටම දාගන්න එකයි විතරලු. ඉතින් මේ වගේ කෙනෙක් තනියම පිට තැනක නතර වෙන්නේ කොහොමද?

ඒ නිසා ඔහුගේ දෙමව්පියොත් වෛද්‍ය පීඨය ළඟ කුලී ගෙදරක නතර වෙලා. මේ කාරණාව නිසා ඔහු වෛද්‍ය පීඨයේ අනිත් අය අතර විහිළුවට ලක්වෙලා. ඒ නිසා දරුවා අධ්‍යාපනය නතර කරන්න යනවා කියලා තමයි ඔහුව මගේ ළඟට එක්කරගෙන ආවේ.

ගොඩක් දෙමව්පියෝ පුංචි කාලේ දරුවන්ට ගෙදර​දොරේ වැඩපළක් තියා තමන්ගේ වැඩක්වත් තනියම කරගන්න දෙන්නේ නැහැ. ඒ නැත්නම් ‘පිරිමි ළමයි ගෙවල්වල වැඩ කරන්න ඕනෙ නෑ’ කියලා ගෑනු ළමයින්ට විතරක් වැඩ පවරනවා. මේකෙන් දරුවන්ට විතරක් නෙමේ මුළු සමාජයටම වෙන හානිය සුළුපටු නැහැ. සරලයි වගේ පෙනුණට ඇත්තටම මේක බොහොම සංකීර්ණ සමාජ ගැටලුවක්.

ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාලවලින් රැකියාවලට යන ඇතැමුන් ඵලදායීව රැකියා කටයුතු කරන්නේ නැහැ කියලා එකපාරක් යුරෝපයේ කතාබහක් ඇතිවුණා. පස්සේ මාර්ටින් සෙලිග්මාන් කියන සුප්‍රකට ඇමෙරිකානු මනෝවිද්‍යාඥයා මේ ගැන සමීක්ෂණයක් කළා. ඒ අසාර්ථක වුණු අයගේ මෘදු කුසලතා (Soft Skills) වර්ධනය වෙලා නැහැ කියන එක තමයි එතැනදී හෙළිවුණේ.

චිත්තවේග පාලන හැකියාව, සමාජ කුසලතා සහ යමක් ප්‍රායෝගිකව යොදාගැනීමට ඇති හැකියාව තමයි මෘදු කුසලතා කියන්නේ. දැඩි කුසලතා කියන්නේ පොතපතේ දැනුමට. සාර්ථක පුද්ගලයෙක් බිහිවෙන්නේ මේ කුසලතා ද්විත්වයම වර්ධනය වුණහමයි. පොඩි කාලේ ඉඳලම තමන්ගේ වැඩ තනියම කරගන්න හුරුකරන එකත්, ගේදොර වැඩපළ පවරන එකත් මෘදු කුසලතා වර්ධනයට ​හොඳ මගක්.

හැබැයි එහෙමයි කියලා පුංචි කාලේ ඉඳලා වැඩ නොකළ දරුවන්ට එකපාර වැඩ පවරන්න යන එකත් සාර්ථක නැහැ. අවුරුදු දාසය දාහත පැන්න හැටියේ ළමයින්ට වැඩ පවරලා දරුවෝ ඒවා නොකළම ‘අනේ අපේ ළමයි කිසි වැඩක් කරන්නේ නැහැනේ’ කියන අයත් ඉන්නවා. ගහක අත්තක් වුණත් පුංචි කාලේ නම්‍යශීලී වුණාට වර්ධනය වුණාට පස්සේ නම්‍යශීලී නැහැනේ. ඒ වගේ තමයි දරුවොත්. ඒකට දරුවන්ට පුංචි කාලේ ඉඳලම පුහුණුවක් ලබාදෙන්න ඕනේ.

දරුවට අවුරුද්දක් පහුවුණු හැටියේ ගෙදරදොරේ පුංචි පුංචි වැඩ පවරන්න. අවුරුදු දෙක, තුන කියන්නේ ළමයෙක්ගේ මො‍ළේ වර්ධනය වෙන්න පටන් ගන්න කාලේ. ඔය කාලෙට දරුවෙක් අතපය හොල්ලලා වැඩ කරන එකෙන් ඔහුගේ පංච ඉන්ද්‍රියන් හොඳින් උත්තේජනය වෙලා මොළේ වර්ධනයත් වේගවත් වෙනවා.

දරුවෙක්ට අපි වැඩක් පැවරුවම එයා ඒක කරන්න ඕන කොහොමද කියන එක කල්පනා කරනවා. එතැනදී එයාගේ තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු වෙනවා.

ඒ ඒ වැඩ කරනකොට අපි ඒවා කරන්නේ ඇයි කියලත් දරුවන්ට කියලා දෙන්න. උදාහරණයක් විදියට අපි දරුවට කෑම උයන්න කියලා දෙනවා නම් අපි කෑම ඉව්වේ නැත්නම් ඒවා තියෙන විදියට කන්න බැරි බවත්, කවදහරි තනියම උයාගන්න වුණත් පුළුවන් වෙන්න ඕන කියන එකත් එවෙලෙදි දරුවට උපක්‍රමශීලීව ඒත්තු ගන්වන්න.

මේකෙන් ලැබෙන අනිත් වැදගත්ම දේ තමයි දරුවෙක් ස්වාධීන වෙන එක. අම්මා උයලා දෙන බත් ටික බෙදාගෙන කන්න දන්නෙ නැති වැඩිහිටි දරුවන්ව මම දැකලා තියෙනවා. මම නම් කවදාවත් ඒ දරුවන්ට දොස් කියන්නේ නැහැ. මොකද ඒක ඒ ළමයගේ අම්මගේ තාත්තගේ වැරැද්ද. අනුන්ගේ උදව් නැතුව තමන්ගේ වැඩක් කරගන්න බැරි ළමයි හදන එක ආඩම්බරකමක් නම් නෙවෙයි. ඒක ඒ දරුවගේ පෞරුෂයටත් කරන බරපතළ හානියක්.

මේ මාතෘකාව සම්බන්ධයෙන් අම්මලා කරන තව වැරදි කිහිපයක්ම තියෙනවා.

හිතන්නකෝ දරුවට බෝතලේකට සීනි ටිකක් දාන්න දෙනවා කියලා. ඔන්න දරුවගේ අතින් සීනි ටිකක් බිම හැලුනු හැටියේ ‘අපෝ මෙයා එක වැඩේ දෙක කරනවා. අන්න අරහෙට යන්න ළමයෝ’ කියන අම්මලා ඉන්නවා. ඕනම කෙනෙක් යමක් ඉගෙනගන්නේ වැරදීම්වලින්. දරුවෙක් යමක් වැරදියට කළොත් ඒක හරියට කරන හැටි දරුවට පියවරෙන් පියවර කියලා දීලා දරුවන්ට උදව් කරන එක තමයි දෙමව්පියන්ගේ වගකීම.

‘මම කුස්සියට ගිය ගමන් අපේ අම්මා මාව එළවනවනේ’ කියලා සමහර දරුවෝ කියනවා. ඇත්ත. දරුවෙක් කුස්සියට යද්දිම ඒ දරුවා බරපතළ වරදක් කළා වගේ කෑගහන අම්මලා ඉන්නවා. එහෙම කරන එකෙන් වෙන්නේ ඒ දරුවා ආත්මාර්ථකාමී වෙන එකයි. රැකියා ස්ථානවල නැත්නම් සමාජයේ කණ්ඩායම් හැඟීමක් නැති, තව කෙනෙක් එක්ක වැඩ කරන්න බැරි පුද්ගලයන් ඉන්නවා නේද, අන්න එහෙම හදපු දරුවො තමයි ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.

මම මේ කිව්ව හැම කාරණයක්ම දුවලට විතරක් ආදළයි කියලා දැන් අම්මලා හිතනවා ඇති. මොකද ‘කොල්ලෙක්ගෙන් වැඩ ගන්න පුළුවන්ද?’ කියලා අහන වැඩිහිටියොත් ඉන්නවනේ.

ගැහැනු මේ වැඩ කරන්න ඕනේ, පිරිමි මේ වැඩ කරන්න ඕනේ කියලා සමාජය විසින් බෙදාගත්තු කාර්යයන් ටිකක් තියෙනවා. ඒ නිසා ගොඩක් අම්මලා පිරිමි දරුවන්ගේ ගෙදර වැඩ ගන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ වැඩත් ගෑනු දරුවන්ට පවරනවා. එතකොට ‘ආහ් අපි තමයි පිරිමි අයගේ වැඩ කරන්න ඕනේ’ කියන එක පුංචි කාලෙදිම ගැහැනු දරුවගේ ඔලුවට යනවා. ‘ගෑනු ඉන්නේ අපේ වැඩ කරන්න’ කියලා තමයි පිරිමි දරුවෝ හිතන්නේ. ගැහැනිය තමන්ට පහලින් ඉන්න කෙනෙක් කියන එකත් එතැනදී පිරිමි ළමයගේ ඔලුවට යනවා. ඊටපස්සේ වෙන්නේ ගෑනුන්ට ගරු නොකරන පිරිමි සමූහයකින් යුතු සමාජයක් බිහිවෙන එකයි.

හිතන්න කෙනෙක් තමන්ගේ වැඩ අනුන් ලවාම කරවාගන්න හදනවා කියන එකෙන් පේන්නේ ඒ කෙනාට අනිත් කෙනා ගැන හැඟීමක් නැහැ කියන එකනේ. ඉතින් බිරිඳ ගෙදර සියලුම වැඩ කරන්න ඕනේ කියලා හිතන සැමියන් බිහිවෙන්න වගේම ගෘහස්ථ හිංසනය වැඩි වෙන්නත් මේ කාරණා හේතු වෙනවා.

අනික මේක ගෑනු දරුවන්ට විතරක් නෙවේ පිරිමි දරුවන්ටත් කරන හානියක්. පිරිමි දරුවෙක් කුස්සියේ වැඩක් කරන්න ඉල්ලූ හැටියේ ‘ගෑනු ගති’ කියන්න යන්න එපා. ඒකෙන් ඒ ළමයාගේ පෞරුෂය බිඳ වැටෙනවා.

ඒ නිසා උදව්වක් හැටියට මිසක් කවුරුත් කාගෙවත් වැඩ කරන්න අවශ්‍ය නැති බව සහ තමන්ගේ වැඩ තනියම කරන්න ඕනේ කියන එක පොඩි කාලෙම පිරිමි ළමයින්ගේත් ඔලුවට දාන එක තමයි ගුණගරුක සමාජයක් පතන වැඩිහිටියන්ගේ වගකීම. ඒ නිසා කුස්සියේ වැඩ කෙල්ලන්ට, වත්තේ වැඩ කොල්ලන්ට කියලා බෙදන්න යන්නේ නැතුව මේ හැම වැඩක්ම මේ දෙගොල්ලන්ටම පවරන්න.

1-3 වසරවල ඉන්න දරුවන්ට පිඟන් නවන එක, එළවලු සේදීම වගේ පුංචි පුංචි වැඩ පවරන්න. 3-6 වසරේ අයට පිඟන් සෝදන එක, ගෙදර අතුගෑම වගේ වැඩත්, හය වසරෙන් පස්සේ දරුවන්ට එයාගේ ඇඳුම් සෝදන එක, බත් බෙදාගන්න එක ඇතුළුව ඔහුගේ හැම වැඩක්ම තනියම කරගන්නත් ඉඩ දෙන්න. ඔවුන් ඒවා කරනකොට ඒ අයව අගය කරන්න.

මම මේ කිව් කාරණා ගැන අවධානට යොමු කරන්න පුළුවන් නම් අනිත් අය ගැනත් හිතන, කාටත් බරක් නැති දරුවන්ව සමාජයට දායාද කරන එක ඒ තරම් අමාරු නැහැ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි