පැය 18ක් එකදිගට සේවය කළ ලාංකිකයෙක් කොරියාවේදී මරුට

345

දකුණු කොරියාවේ ග්යොංගි පළාතේ හ්වාසොං හි ප්ලාස්ටික් නිෂ්පාදන කම්හලක සේවයේ යෙදෙමින් සිටියදී ශ්‍රී ලාංකික සේවකයෙකු අනතුරකින් මිය ගොස් තිබෙනවා.

නියමිත කාල සීමාව සපුරාලීම සඳහා ඔහු අඛණ්ඩව පැය 18 ක් වැඩ කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බවයි The Korea Times වාර්තා කර තිබෙන්නේ.

ජුලි 25 වන දින අලුයම 3.30 ට පමණ මොහු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මොහුගේ වයස අවුරුදු 33ක්

මොහු මිය යනවිට Hwaseong නගරයේ පැල්ටන් ටවුන්ෂිප් හි ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන කම්හලක වැඩ කරමින් සිට ඇති අතර ඒ අසල තවත් විදේශීය ජාතික කම්කරුවන් දෙදෙනෙකු සිට තිබෙනවා.

නමුත් මෙම තරුණයාගේ කෑගැසීම ඇසෙන තෙක් ඔවුන් අනතුර ගැන දැන නොසිටි බවයි එරට පොලිසිය පවසන්නේ.

පොලීසිය පවසන්නේ අනතුරට නිශ්චිත හේතුව සොයා බලමින් සිටින බවයි.

මරණයට පත්වූ මෙම පුද්ගලයා කර්මාන්ත ශාලාවේ සේවයට එක්ව තිබෙන්නේ මිට මාස 3කට පෙරයි