පාස්කු කොමිසමේ වාර්තාව අධ්‍යනයනට පත්කළ අමාත්‍ය කමිටු වාර්තාව හෙට ජනපතිට.

135

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිශන් සභාවේ අවසන් වාර්තාව අධ්‍යනයනට පත්කළ අමාත්‍ය කමිටු වාර්තාව හෙට ජනපතිට භාර දීමට නියමිතයි.

අමාත්‍ය කමිටු සාමාජිකයෙකු වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ තම කමිටුවේද මතය ලෙස යෝජනා කරන්නේ අදාළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම බවයි.

තම කමිටු නිර්දේශ ජනාධිපතිවරයා ට භාරදීමෙන් අනතුරුව එය ප්‍රසිද්ධ කෙරෙනු ඇතැයි ඔහු විශ්වාසය පළකළේය.

මෙම අමාත්‍ය කමිටුව පත් කෙරුණේ පෙබරවාරි මාසයේ පාස්කු කොමිසමේ වාර්තාව නිකුත් කිරීමෙන් දින කීපයකට පසුවයි.

අදාල කොමිසම සිය අවසන් වාර්තාවේ නිර්දේශ කර තිබුණේ පාස්කු සිද්ධිය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ට එරෙහිව අපරාධ නීතිය අනුව කටයුතු කළයුතු බවයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් වරයා මෙන්ම තවත් ආරක්ෂක අංශ ප්‍රධානීන් සම්බන්ධයෙන් එම කොමිසම නිර්දේශ ලබා දී තිබුණි.

කෙසේවෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය පවසන්නේ අදාළ කොමිශන් වාර්තාව ප්‍රතික්ෂේප කරන බවයි.