පාසල්වල අධ්‍යාපන චාරිකා දුර සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

ByPasindu

Jan 22, 2023

අධ්‍යාපන චාරිකා සඳහා පාසල් සිසුන් රැගෙන යා හැකි දුර ප්‍රමාණය සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව දිනකට සිසුන් රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝ මීටර් 100කට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ අවධානයට ලක්ව ඇති බවයි එම අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

එලෙස අධ්‍යාපන චාරිකා සඳහා රැගෙන යන සිසුන් පස්වරු 6ට පෙර යළි අදාළ පාසලට රැගෙන ආ යුතු වනවා.ඉදිරියේදී පාසල් සිසුන් රැගෙන යන අධ්‍යාපන චාරිකා සඳහා තෝරාගන්නා ප්‍රදේශ පිළිබඳවද වැඩි අවධානයක් යොමු කිරීමටද නියමිතව තිබෙනවා.

නව උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් සියලු පාසල් හා අධ්‍යාපන බලධාරීන් වෙත කඩිනමින් නිකුත් කිරීමටද පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ. 

එලෙස නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත්තේ ඉකුත් සිකුරාදා රාත්‍රියේ නුවරඑළිය නානුඔය රදැල්ල ප්‍රදේශයේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක් වීම හේතුවෙන්.

එම අනතුරෙන් එකම පවුලේ 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 43 දෙනෙකු ඇතුළුව තුවාල ලැබූ 53දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුනේ නුවරඑළිය රෝහලටයි