පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනයට ජනපති ගොටාභය අත්සන් තබයි

158

අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

2015 අගෝස්තු මස 17 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පිහිටවූ 8 වන පාර්ලිමේන්තුව පළමු වරට රැස්වුණේ  එම වසරේ සැප්තැම්බර් පළමුවැනිදායි.

ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ වසර හතරක් සහ මාස 6  කාලය ඊයේ මධ්‍යම රාත්‍රියේදී සම්පූර්ණ වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව අනුව නිල කාලය වසර හතරහාමාර ඉක්මවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට හිමි වනවා.

අද පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ එම බලතල ප්‍රකාරව වන අතර ජන්ද විමසීමේ දිනය සහ අභිනව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේ දිනය විසුරුවා හැරීමේ ප්‍රකාශනයේ නියම කළ යුතුයි.

ඒ අනුව 9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පැවැත්වෙනු ඇති බව රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කළා.

පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ පනතට අනුව මහමැතිවරණය ප්‍රකාශයට පත්කොට දින 10 ත් 17 ත් අතර තුර නාමයෝජනා භාර ගැනීම සිදු කළයුතුයි.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරින්නේ නම් මාර්තු 12 වනදා සිට 19 වනදා දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීම සිදු වනු ඇති.

ඊට අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ද මේ වන විට සූදානමින් සිටිනවා.