BREAKING NEWS
Search

‘පාක් ඇන්ඩ් රයිඩ්’ නමින් සැප බස් සේවාවක් ජනවාරියේ සිට

262

සුවිශේෂී පහසුකම්වලින් සමන්විත නගරාශ්‍රිත සුඛෝපභෝගී බස් සේවාවක් ‘පාක් ඇන්ඩ් රයිඩ්’ (Park & Ride) නමින් ජනවාරි 01 වැනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවසීය.

මාකුඹුරෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙම බස් සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කීවේය.

මහනුවර සිට නෙල්ලිගල දක්වා බස් රථයක් ධාවනය කරවීම නිමිත්තෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පෙරේදා (6 වැනිදා) පැවති උත්සවයකින් අනතුරුව රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පෞද්ගලික වාහනයෙන් රථගාල වෙත පැමිණ එතැන් සිට වායුසමනය කරන ලද සුඛෝපභෝගී බස් රථයකින් නගරය වෙත ගොස් තම අවශ්‍යතා ඉටුකර ගෙන යළි රථ ගාල වෙත පැමිණීමට හැකි ලෙස මෙම නව බස් සේවාව ක්‍රියාත්මකය. ජනපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව මේ වනවිට මාකුඹුරේ සහ නාවින්නේ රථගාල් ඉදිකිරීමේ කටයුතු අවසන් කර තිබෙන බවද හෙතෙම කීවේය.

නව සේවාව සඳහා අවශ්‍ය සුඛෝපභෝගී බස් රථ ඇණවුම් කර තිබෙන බවත්, ඒවා පැමිණෙන තෙක් සංචාරකයන් ප්‍රවාහනයට යොදාගත් සුඛෝපභෝගී බස් රථ බදු පදනම මත ලංගම මගින් ලබාගන්නා බවත් හෙතෙම පැවසුවේය.

සංචාරක ව්‍යාපාර කඩාවැටී තිබෙන නිසා මෙමගින් ඔවුන්ටද යම් සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා කීවේය.

මගීන්ට වඩා පහසුවෙන් හා ආරක්ෂිතව බස් රථයේ ගමන් කළ හැකි පරිදි එහි ආසන පේළියක් හැර පේලියක් ඉවත් කරන බවත්, කොවිඩ් වයිරසය විනාශ වන විශේෂ රසායනිකයක් මුසු කළ තීන්ත වර්ගයක් බස් රථය ඇතුළත ආලේප කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම බස් රථවල ටිකට්පත් මිලට ගැනීම සඳහා ලංගම මගින් විශේෂ ඇප් එකක් හඳුන්වා දී තිබෙන බව කී ඇමැතිවරයා මුදල් භාවිත කිරීමකින් තොරව ඊ ටිකට්පතක් මිලටගෙන එහි ගමන් කළ හැකි බවද කීවේය.

මෙම අවස්ථාවට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සහ ශ්‍රී ලංගම අධ්‍යක්ෂ රුවන් තිලකරත්න ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කමල් සුරවීර-මහනුවර