ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවයි: නොපමාව එන්නත ගන්න.. – සෞඛ්‍ය අංශවලින් දැඩි ඉල්ලීමක්

168

එන්නත ලබා ගැනීමට ප්‍රමාදවීම,පසුතැවිල්ලට හේතු විය හැකි බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ,අද(22) පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා සිටියේ,නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති මෙවැනි රටක් තුළ එන්නතකරණය සඳහා අවස්ථාව ලබා දී ඇති විට එය නොගැනීම පසුකාලීනව පසුතැවීමට සිදු වනු ඇති බවය.

එම නිසා දෙමව්පියන් එන්නතකරණය සඳහා යොමු කිරීම දරුවන්ගේ යුතුකම බවත්,වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර දිස්ත්‍රික්ක 10 ක මධ්‍යස්ථාන 52 කදී අද(22) දිනයේත් කොරෝනා මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

යුද හමුදාව මගින් පවත්වන ජංගම කොරෝනා මර්දන එන්නත්කරණය ද අදත් ප්‍රදේශ කිහිපයකදී සිදු කෙරෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය.