ප්රවීන රංගන ශිල්පිනි හයිසින්ත් මෙලොවින් සමුගන්න කලින් අවසන් වරට කියූ කතාව

33302

‘හයිසින්ත් විජේරත්න’යන නාමය වේදිකාව,සිනමාව මෙන්ම රූපවාහිනී යන තුන් මාධ්‍යයෙහිම ප්‍රකට,ප්‍රචලිත නාමයක් බව නොරහසකි. ක්ෂේත්‍රයේ ශිල්පීය ප්‍රජාවගේ මෙන්ම සහෘද රසික පර්ෂදයේ ද එකලෙස ආදරය දිනාගත් හයිසින්ත්,‘ පුංචි තිරයේ ආදරණීය අම්මා’ලෙසින් රසිකයන්ගෙන්ම විරුද ලැබුවේ ඇය මෙරට පළමු ප්‍රාසාංගික ටෙලිනාට්‍ය වූ ‘දිමුතු මුතු’ටෙලිනාට්‍යයේ සිට මියෙන තුරුම සක්‍රීයව රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය හමුවේ විවිධ මවු භූමිකාවන්ට ජීවය දුන් බැවිණි.

සුගතපාල සෙනරත් යාපාගේ‘පෙම්බර මධු’සිනමාපටයේ මධූ ලෙස රංගනය කළ නිළි රැජන මාලනී ෆොන්සේකාගේ යෙහෙළිය ලෙස මතකයේ රැඳෙන චරිතයකින්ම සිනමා වරම් ලබන ඇය සිනමාවේ ද සක්‍රීයව පෙනී සිටි ශිල්පිනියකි. බොහෝ විට සිනමාවේ කැපී පෙනෙන මවක වූ ඇය ‘වාලම්පුරි’ චිත්‍රපටයේ විජය කුමාරණතුංගයන්ගේ මව ලෙස ද,‘නැවත හමුවෙමු’සහ‘රජ සෙල්ලං’වැනි චිත්‍රපටවල ජීවන් කුමාරණතුංගගේ මව ලෙස ද,‘එකදා වැහි’ චිත්‍රපටයේ නිල්මිණී තෙන්නකෝන්ගේ සහ දිල්හානි අශෝකමාලාගේ මව ලෙස ද කළ චරිත කැපී පෙනේ.

‘කරුමක්කාරයෝ’ චිත්‍රපටයේ කන්‍යා සොයුරිය ලෙස කළ චරිතය,‘ක්‍රිස්තු චරිතය’චිත්‍රපටයේ ආනා ලෙස කළ චරිතය,‘කිවුලේගෙදර මොහොට්ටාල’චිත්‍රපටයේ මුල්වරට කළ ප්‍රධාන ස්ත්‍රී භූමිකාව,‘සලඹක් හඬයි’චිත්‍රපටයේ මායා ලෙස මෙන්ම‘සුරබිඳෙන’චිත්‍රපටයේ දුනුවිල මැතිනිය ලෙස කළ චරිත ද ඇගේ සිනමා ගමනේ කැපීපෙනෙයි. මෑතකදී පවා‘හෝ ගානා පොකුණ’චිත්‍රපටයේ ඇය ඉස්කෝල හාමිනේ ලෙස කළ චරිතය වුවද කාගේත් මතකයේ රැඳී ඇත. එහෙත් ඇය කාගේත් ජනාදරයට පත් වූයේ ටෙලිනාට්‍ය මාධ්‍යයෙන් යැයි හැඟේ.

බොහෝ විට උඩරට ඔසරියෙන් හැඩව,කොණ්ඩය ගෙළ පසුපසට බැඳ සකසා, අගස්ති මාලයක් ගෙලෙහි බැඳගත් ලාංකේය කුල කාන්තාවකගේ රූපකාය මෙරට රංගන අවකාශයේ ස්ථානගත කළේ ඇය විසිනි. රූපවාහිනී ටෙලිනාට්‍ය කලාව තුළ ඇයට දරුවෙක්, මුනුපුරෙක් වූ නැති තරුණ ශිල්ප ශිල්පිනියන් සොයාගැනීමට අපහසු තරමට ඇය මෙරට ටෙලිනාට්‍ය කලාවේ මුඳුන්පත් මාතෘ රූපයක් වූවාය.

හයිසින්ත් විජේරත්න නම් චරිතය පිළිබඳ අධ්‍යයනය කරන විට පැහැදිලි ලෙස වටහාගත හැකි මෘදු කුසලතා කිහිපයක් මෙහිලා සඳහන් කරනු වටින්නේය.ඇය ශිල්පීය ප්‍රජාව නියෝජනය කරන බොහෝ දෙනෙක් හට මවක් වූයේ තිරයේ පමණක් නොවේ.දර්ශන තලයේ දී, නවාතැනේදී පමණක් නොව රංගකාර්යෙන් පරිබාහිරව පවා ඇය සැමට මවක් මෙන් පෑ සෙනෙහස ඇගේ වියෝව සවනත වැකුණු මොහොතේ පටන්ම සියලු දෙනා සමාජ මාධ්‍ය පිටු පුරා සිහිපත් කරමින් සිටිති.එතරම්ම ඇය කලාවේ සිටි නිහතමානීම කරුණාබර මව වූවාය. දර්ශන තලයකදී ඇයව හමුවන දුහුනකුට වුවද රංගකාර්ය වෙනුවෙන් ආධ්‍යාත්මිකව මනා සේ සූදානම් වීමට ඇය ලබාදෙන සහාය පිළිබද සංවේදී කතා ඇත.

හයිසින්ත්,සිටින දර්ශන තලයක ඇය අනාගත අංකූර ශිල්පීන් හට ලබාදෙන පරමාදර්ශ බොහෝ ය.තිරයට තරමක් උඩඟු රදළ කතක් වුවත් ඇය තිරයට මෙපිටින් උඩඟුකම අංශුමාත්‍රයක් හෝ ආලේප නොවූ සිතැත්තියක් වූවාය.එමෙන්ම රූගත කිරීම් ඇරඹෙන්නට මොහොතකට මත්තෙන් සහාය ශිල්පීන්ට මෙන්ම කාර්මික ශිල්පීන් හට පවා එම නිර්මාණය නියමාකාරයෙන් ඉටුකරගැනීමට සුබ පතා දිරි දෙන්නට අමතක නොකරන සිරිතක් ද ඇය පුරුදු පුහුණු කළාය.

දර්ශන තලයෙන් පිට ප්‍රවාහන සේවයෙන් ශිල්පියෙක් බැස යන විට පවා ඇය ‘නැවත හමුවෙමු, තෙරුවන් සරණයි පුතා’යන වචන පෙළ අමතක නොකර පවසන තැනැත්තියකි. නැවත හමුවෙමු කියා දර්ශනතලයෙන් පිටවී ගිය ඇය යළිත් කිසිදාක අප හමුවට එන්නේ නැත.

පුද්ගලික ජීවිතයේ දී ඇය ආගමට දහමට මහත් සේ ළැදි උවැසියකි. ඇය වකුගඩු රෝගීන් වෙනුවෙන් කළ නිහඬ සේවය දන්නේ අතළොස්සක් දෙනා පමණි.ඇය මිනිස්සුන්ට උදව් කළේ අඬබෙර අණවා නොවේ. කලා ලෝකයේ මේ නිසාම ඇය සාධු චරිතයක් වූවාය.ඇතැම් ශිල්පිනියන් විවාහ වන දා ඥාතිවරියකට මෙන් ගරු කරමින් පෝරු මස්තකය මත බුලත් හුරුළු දී නමස්කාර කළේ ඇයට ය.ජීවිතය දෙදරා ගිය බොහෝ විට තරුණ ශිල්පිනියන්ට ජීවිත දිශානතිය කියා දුන් පරිණත යෙහෙළිය ඇයය.

ඇය සිය ජීවන ගමනේ 75 වැනි මංසලේ දී මෙලෙස රූපමය වශයෙන් සමුගත්තාය. දැවෙමින් බැබළෙන ලෝකයක පිපි මලක් මෙන් සුවඳවත් වූ හයිසින්ත් විජේරත්නයන්ට නිවන දුරක නොවනු ඇත. එය අප විශ්වාස කරනු ලබන,ප්‍රාර්ථනා කරනු ලබන ආත්මීය ප්‍රකාශනය ය.එහෙත් ඇයට නිර්වාණය ප්‍රාර්ථනා කර නිහඬ වීමට නොහැකි තරම් කම්පිත දුකක් දැනෙණුයේ ඇය මියදෙන මොහොතේ පවා අපට මතුකර දෙන පාඩම නිසාවෙනි.

ඇය දිවියෙන් සමුගන්නේ නොකල්හි උපන් රෝග පීඩා උවදුරුවලින් පීඩිතව නොවේ. ප්‍රවාහන සේවයේ විඩාපත් රියැදුරකුගේ නෙත් වැසී යන ඇසිල්ලෙහි පාලනයෙන් මිදී ගිය රථය ප්‍රපාතයකට පෙරැළීමෙන් සිදුවූ අනතුරෙනි. ඇය සිය අවසන් හුස්ම හෙළුවේ අප ආලින්දයේ සිට රසගුලාවක කිමිදෙමින් බලනා නිර්මාණයකට දායකවන රංගන සහ කාර්මික ශිල්පීන් ඇතුළු සමස්තයේ ජීවිත වටිනාකම නොසලකා හළ අවිධිමත් සැලසුම් සහ ශ්‍රම සූරාකෑම් පිළිබඳ කෙරෙනා වේදනාත්මක හෙළිදරව්වක් සමඟිනි.

හයිසින්ත් විජේරත්නයන් අපට සිතීමට ඉතිරි කර, සොඳුරු හසරැල්ල සඟවාගෙන ගිය නොඑන ගමනේ ඛේදනීය ඇතුළාන්තය එයය. ලිඳුල අනතුර වැනි අනතුරක් වූ විටෙක රියැදුරා මියැදුනත්,නිෂ්පාදක කණ්ඩායමේ අයෙක් හෝ රටක් වටිනා කලා ශිල්පියකු මියැදුණ ද සැණෙකින් එම තැනැත්තාගේ ස්ථානය ආදේශකවලින් පිරවෙන්නේය. කතාව ගලාගෙන යෑමට අවශ්‍ය පිටපතක් තිබේනම් එය සංස්කරණය පමණි. පිටපතක් නැතිනම් එය අදාළම නැත.

කැමති ආකාරයට එම චරිත ඉවත් කළ හැක.අහිමිවන්නේ ජීවිතයම පමණි.එහි සෘජු ව්‍යසනය තමන්ටය.තමන්ගේ කිට්ටුවර හිතෛශීන්ටය.අවසානයේ මේ සියල්ල නිෂ්පාදනයන්ය.ඒවා මිලට ගන්නා සමාගම්වලට හෝ මාධ්‍ය ආයතනවල අවසාන තක්සේරුව රුපියල්වලිනි. ඒ මිලදී ගැනීම් හා විකිණීම්වලදී ජීවිතවලට හෝ වෘත්තීන්ට වටිනාකමක්වත් වගකීමක්වත් නැත. ආදරණීය හයසින්ත් අම්මා නික්ම යන ගමන් අපට කියා දී ඇති කතාව තිගස්වන සුලුය.

උපුටාගැනීම – රසදුන
කතෘ – අකාශ්