පදක්කම් 9 ක් රටට ගෙනා මලල ක්‍රීඩකයන්ට අඩු සැලකිලි

261

ඉන්දියාවේ පටියාලා හි පසුගියදා පැවති 60 වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩික ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූ අතර එම කණ්ඩායම පදක්කම් 9ක් දිනාගැනීමට සමත් වුණා.

එම තරගාවලිය අවසන්කර ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි හෝටලය තුළ නිරෝධායනය වෙමින් ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ සුගතදාස පුහුණු ධාවන පථයේ පුහුණුවීම් කිරීමට ඔවුන්ට පහසුකම් ලබාදෙන බව ක්‍රීඩා බලධාරින් මලල ක්‍රීඩා කණ්ඩායමට මීට පෙර ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

කෙසේ නමුත් අද (02) අලුයම දිවයිනට පැමිණි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම කිසිඳු දැනුම්දීමකින් තොරව මාතර අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ති‍බෙනවා.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 3000 බාධක දිවීම ඉසව්වට සහභාගිවීම සඳහා සුදුසුකම් සපුරා ඇති නිලානි රත්නායකද මෙම කණ්ඩායම අතර සිටීම විශේෂත්වයක්.

කෙසේ නමුත් පසුගියදා විනය විරෝධීව හැසිරීමේ චෝදනාව මත ලංකාව යළි කැඳවූ කුසල් මෙන්ඩිස්,නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක මේ වන විටත් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක නිරෝධායනය වෙමින් සිටිනවා.