නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතියෙන් කොමිස් ගැහිල්ලක්

231

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ ඉදිරි පියවරක් ලෙස ආරම්භ කිරීමට නියමිතව තිබූ නානුඔයේ සිට නුවරඑළිය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියෙන් රජයේ  ප්‍රබලයකු  ඇතුළු ජාවාරම්කරුවන් පිරිසක් කොමිස් වංචාවක් සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණය වෙනවා.

2020 වසරේදී යුරෝ මිලියන් 38 කට (රුපියල් මිලියන 8,930 ) ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබු ‘නානුඔය – නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතිය’ ම යලි කිසිඳු වෙනසකින් තොරව මේවනවිට යළි ඉදිරිපත්කර ඇත්තේ යුරෝ මිලියන 58ක (රුපියල් මිලියන 13,690 ) ට බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ මිල පෙර ඉදිරිපත්කර තිබු මිල ගණන් වලට වඩා යුරෝ මිලියන 20 ක් ඉහල දමමිනි. (මේවනවිට යුරෝ එකක් රුපියල් 240 කි.) 

ඒ අනුව මෙම යුරෝ මිලියන 20 ක මුදල ප්‍රබල ඇමැතිවරයකු හා ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු අතරේ බෙදීයාමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය නානුඔය දුම්රිය පොළ සිට නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි තුරඟ තරඟ පිටිය (රේස් කෝස්) දක්වා කිලෝ මීටර් 06ක් දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත්තේ, ජර්මනියේ ස්ථානගතව ඇති ඔස්ට්‍රියන් සමාගමක් විසිනි. 

එහි දේශීය නියෝජිතයා ලෙස සැලකෙන්නේ අදීෂ් ද සිල්වා නමැත්තෙකි.

එම සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කිරීමට සැලසුම්කර ඇත්තේ, මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබීමෙන් පසු බැංකු ණයක් ලබාගනිමිනි.

මෙම ව්‍යාපෘතිය සඳහා අදාල සමාගමට රජයේ අනුමැතිය ලැබුන පසු  අදාල විදෙස් සමාගම මෙම ව්‍යාපෘතියේ වියදම් පියවාගැනීමට යෝජනා කර ඇත්තේ නානුඔය සිට නුවරඑලියට කේබල් කාර් රථයක ගමන්ගන්නා අයකුගෙන් රුපියල් 5000ක ගාස්තුවක් අය කිරීමෙන් හා එම ව්‍යාපෘතියටම අදාලව ඉදිකෙරෙන ආපන ශාලා හා විවේකාගාර හරහායි. 

තවද  ව්‍යාපෘතියටම අදාලව ඉදිකෙරෙන ආපන ශාලා හා විවේකාගාර පෞද්ගලික අංශයට කුලියට දීම හරහා එම බලපත්‍රය වෙනත් සමාගමකට විකිණීමේ සුදානමක් ගැනද වාර්තා වෙනවා. 

මෙම ව්‍යාපෘතියට අදාල ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් නුවරඑළිය නගර සභාව, දුම්රිය දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ හා වන ජීවී දෙපාර්තමේන්තුවල නිර්දේශ අවශ්‍ය වී අතර එම ආයතන  තමන් සතු ඉඩම් මෙම ව්‍යාපෘතියට නොමිලේ වෙන්කර දීමට අදිමදි කිරීම නිසා එම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට තීන්දු කර තිබේ.

 ඒ සඳහා අනුමැතිය ගැනීමට කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ රට ගොඩනැගීමේ ආර්ථික මෙහෙයුම තුළ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවද මධ්‍යම පළාතේ ආර්ථිකය නඟා සිටුවීමට මෙන්ම කලාපයේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති රැසක් කඩිනම් කිරීමට තීරණය කර තිබෙන අතර එහිදී විදෙස් ආයෝජන මත ‘නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතිය’ ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇත්තේ.

මෙම ව්‍යාපෘතියට අදාල මිට පෙරදී ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතියේ ලාබයෙන් සියයට 10ක මුදලක් නුවරඑළිය නගර සභාව වෙත ලබාදීමට එකඟතාවයට පැමිණ තිබුනද මේ වනවිට අදාල එම වගන්තියද එයින් ඉවත්කර තිබේ.

මේ අතර රුපියල් කෝටි 100ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබූ මෙම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල කෙසේදැයි සංචාරක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ප්‍රශ්න කළේය. 

මෙහිදී මතුවන බරපතල කාරණය වන්නේ රුපියල් මිලියන 8,930 කට ඉදිරිපත්වූ ව්‍යාපෘතියක් අලුතින් කිසිඳු සංශෝධනයක් නොවී රුපියල් මිලියන 13,690 දක්වා රුපියල් මිලියන 4760 කින් ඉහළ දැමීමයි. මෙම මගඩිය ජනාධිපතිවරයාගේ නම විකුණමින් සිදුකරන ජාවාරමක් බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.