නීතිවිරෝධි ලෙස මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කළ පිරිසකට වැඩ වරදි- අයෙකුට කොරොනද සැකයක්

236

කොරෝනා බවට සැක කෙරෙන රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකු අනවසරයෙන් ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් පැමිණෙමින් සිටියදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ඒ ඊයේ අළුයම යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදී ඔවුන් පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සිව් දෙනාගෙන් දෙදෙනෙක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමනය වීමට උත්සහ දරා ඇති බවත් ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට පේදුරුතුඩුව ප්‍රදේශ‍යේ පදිංචි අනෙක් පුද්ගලයින් දෙදෙනා ඩිංගි යාත්‍රාවක් මගින් 2020 ජුලි 10 වන දින පේදුරුතුඩුව ප්‍රදේශයේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකරමින් ඉන්දියාව දෙසට ගමන් කර සංක්‍රමනිකයින් යාත්‍රාව වෙත නංවාගෙන ඇති බවත් අනවාරණය විය.

තවද,  ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කරන ලද පුද්ගලයින් දෙදෙනා වැල්වැටිතුරෙයි සහ මුලතිව් යන ප්‍රදේශයන් හි පදිංචි ව සිටි ශ්‍රී ලාංකිකයින් වන අතර, එක් පුද්ගලයෙක් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙක්ව සිට ඇති බවට වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි. එමෙන්ම එම පුද්ගලයා ස්වසන අපහසුතාවයකින් සහ පපුවෙහි ඇති වූ වේදනා තත්වයක් හේතුවෙන් යාපනය ශික්‍ෂන රෝහල වෙත පොලිස් ආරක්‍ෂාව යටතේ ඇතුලත් කිරීමට කටයුතු කළ අතර, කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා අද (2020 ජුලි 12) දින එම පුද්ගලයා පීසීආර් පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතය. එසේම ඉන්දියාවේ සිට පැමිණි අනෙක් පුද්ගලයා එල්ටීටීඊ සංවිධානයට යම් සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයෙකු බවට  සැක පල කරනු ලබයි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 52 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බවට අනාවරනය කර ගන්නා ලදි. මොවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා භාර දෙන තෙක් අනෙක් පුද්ගලයින් තිදෙනා (03) සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් වූ ස්ථානයක ආරක්‍ෂිතව, හුදකලාව රඳවා තැබීමට කටයුතු කර ඇති අතර, එම පුද්ගලයින්ද පීසිආර් පරික්‍ෂනය සඳහා යොමු කිරීමට නියමිතය.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් රටතුල පවතින කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් මෙම නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් සහ යාත්‍රාව පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමටත් කටයුතු කරන ලදි.