නිහඬව සිටි කුසල්ගෙන් ද්විත්ව ශතකයක්

249

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ මෙම සති අන්තයේ පැවැති තරග 4ම ජය පරාජයෙන් තොරව අවසන් වුවද නැවතත් පිත්තෙන් දස්කම් දැක්වීමට කුසල් මෙන්ඩිස්ට හැකි විය.

කෙසේ වෙතත් මෙතෙක් පැවැති තරගවලට අදාළව සුපරි අට වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට CCC ක්‍රීඩා සමාජයට මේ වනවිට හැකිව තිබේ.

ඒ අනුව මෙම සති අන්තයේ NCC  කණ්ඩායම සහ CCC  කණ්ඩායම අතර පැවැති සුපරි අට වටයේ තරගයද ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර,එහිදී CCC නායක කුසල් මෙන්ඩිස් ද්විත්ව ශතකයක් ලබාගැනීම කැපී පෙනුණා .

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්.සී.සී. පිල පළමුව පන්දුවට පහරදීම සඳහා තීරණය කළ අතර,එහිදී එන්.සී.සී. ක්‍රීඩකයෝ පන්දුවාර 125.3කදී සියලුදෙනා දැවී ලකුණු 467ක් රැස්කරගැනීමට සමත් වූනා.එහිදී ළහිරු උදාර ලකුණු 111ක් රැස්කරගත් අතර,චතුරංග ද සිල්වා ලකුණු 159ක් රැස්කරගත්තා.පන්දුවෙන් දස්කම් දැක්වූ මලින්ද පුෂ්පකුමාර කඩුලු 6ක් දවා ගත්තා.

තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි CCC පිල පන්දුවාර 123කදී කඩුලු 6කට ලකුණු 480ක් ලබා සිටියා.

එහිදී CCC නායක කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේ පළමු ද්විත්ව ශතකය මෙන්ම පළමු පෙළ ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කරමින් පන්දු 300කදී හතරේ පහර 24ක් සහ එක් හයේ පහරක් සමඟන් නොදැවී ලකුණු 200ක් රැස්කර ගැනීම විශේෂත්වයක්. 

තවද සුපරි අට වටයේ කොළඹ CCC.ක්‍රීඩාංගණයේ පැවැති රාගම ක්‍රීඩා සමාජය සහ ශ්‍රී  ලංකා යුද හමුදා කණ්ඩායම අතර තරගයත්,කොළඹ SSC.ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් සහ චිලව් මේරියන්ස් කණ්ඩායම අතර තරගයත්,කටුනායක නිදහස් වෙළෙඳ කලාපීය ක්‍රීඩාංගණයේ පැවැති BRC සැරසන්ස් කණ්ඩායම් අතර තරගයත්,ජය පරාජයෙන් තොරව අවසන් විය.