නිවසේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් ආසාදිතයෙක් බවට හඳුනා ගනී

1736

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ හලාවත,බංගදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.

එම කාන්තාව පසුගිය ජුලි මස 31වන දින ඩුබායිහි සිට ලංකාවට පැමිණ ඇති අතර වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්ව තිබේ. එහිදී සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂණවල දී ඇය කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වී ඇත.

පසුව අගෝස්තු 15 දින ඇය සිය නිවසට පැමිණ ඇති අතර නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකට අනුව ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

23 හැවිරිදි ගැබිනි කාන්තාවක් වන ඇය මේ වන විට හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

මේ වන විට මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2984 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (26) දිනයේ වාර්තා වූ රෝගීන් 13 දෙනා අතරින් දස දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වේ.

ඉතිරි තිදෙනා අතරට මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකු සහ කෙන්යාවේ සිට පැමිණි පුද්ගලයෙක් අයත්ය.

මේ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 153 දක්වා ඉහළ ගොස් තිබේ.

අද වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති ගණන 2 819කි.