නිරෝධායනයෙනුත් පසු හමුවූ කොරෝනා රෝගියා…!

365

දින 05කට පසු ,නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ කාන්තාවක් ඊයේ (15) රාත්‍රියේ හමු විය.

මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධම්මික අධිකාරීවත්තගේ මහතා පැවසුවේ, ඇය නිරෝධානය නිම කළ කොටහේන ප්‍රදේශයේ කාන්තාවක් බවයි.

මේ අතර නාගලගම් වීදිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට පසුගියදා වෛරසය ආසාදනය වීමත් සමග එම ප්‍රදේශය අද (16) පෙරවරුවේ සිට හුදෙකලා කෙරුණි.

කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත 146 වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට ඊයේ උණ රෝගී තත්ත්වයක් ඇති වී ගිලන් රථයක් කැඳවා තිබේ.

හෙද නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වූ ඇයගෙන් කොවිඩ් නයින්ටීන් වෛරස් ලක්ෂණ පෙන්නුම් කෙරෙන බව තහවුරු එහිදී තහවුරු වී ඇත.

ඉන්පසුව එම කාන්තාව සහ ඇයගේ වැඩිමහල් පුත්‍රයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

එහිදී සිදුකළ පරීක්ෂණවලදී ඇයට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි ඇත.

කෙසේ වෙතත් ඇයගේ වැඩිමහල් පුත්‍රයාට වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලදී තහවුරු වූයේ නෑත.

මෙම කාන්තාව පසුගිය මස 12වනදා ඉන්දියාවේ සංචාරයක නිරතව මෙරටට පැමිණ ඇත්තේ සිය සැමියා සහ වැඩිමහල් පුත්‍රයා ද සමගින්.

විදෙස්ගතව සිට පැමිණි බවට ඇය කොටහේන පොලිසියට ගොස් ලියාපදිංචි වී ඇත්තේ, මාර්තු මස 18වනදායි.

ඉන්පසු ස්වයං නිරෝධායනය ලක්වූ ඇයගේ දින 14 කාලය පසුගිය 2 වැනිදා නිමාවට පත්ව තිබේ.

ඇය විදෙස්ගතව සිට පැමිණ දින 33ට පසුව පමණ මෙම වෛරසය වැළඳීම විශේෂත්වයක්.

සෞඛ්‍ය අංශ පවසන්නේ, ඇයගේ සැමියා සහ බාල පුත්‍රයාද රෝහල්ගත කළ බවයි.

ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් තහවුරු කරගැනුණු කොවිඩ් 19 ආසාදිත පුද්ගලයා සමග මත්ද්‍රව්‍ය භාවිත කළ තොටළග, නාගලගම්වීදීය,සෙක්කුවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි මෙලස වෛරසය ආසාදනය වී ඇත්තේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔවුන් මෙම ප්‍රදේශයේ විවිධ තැන්වල සැරි සරා ඇති බවයි.

ඒ හේතුවෙන් අද එම ප්‍රදේශය විෂබීජහරණයට ලක්කෙරුණි.

එමෙන්ම එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ සෙම පරීක්ෂා කිරීම ද අද සිදුකෙරුණි.

මේ අතර නාගලගංවීදිය ප්‍රදේශයේ සිට පැමිණි බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ ලැගුම් ගැනීම නිසා ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.

අනතුරුව සෞඛ්‍ය නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂා කළේය.

පසුව ඔවුන් දෙදෙනා සහා නිවසේ රැඳී සිටි පිරිස ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

මේ අතර හුදකලා නගර බවට පත්කර ඇති බේරුවල චීන කොටුව හා පන්නිල යන ප්‍රදේශවලින් තහවුරු වූ රෝගීන් 19 දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයින් 51 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණය සඳහා අවශ්‍ය ජෛව සම්පල අද එම ප්‍රදේශවලදී ලබා ගත්තේය.

මේ අතර අනමඩුව කිවුල ප්‍රදේශයේදී හඳුනාගත් වෛරස ආසාදිත කාන්තාව ඇසුරු කළ පිරිසකගේදෙ ජෛව සාම්පල අද සෞඛ්‍ය අංශ විසින් ලබාගත්තේය.