නැතිවෙන්න දෙයක් නැහැ,පීඩනය එංගලන්තයට

2099

ලෝක ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් එංගලන්තය සිටින බැවින් තමන් ඇතුළු කණ්ඩායමට නැතිවෙන්න දෙයක් නොමැති බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක කුසල් ජනිත් පවසයි.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අද (23දා) ආරම්භ වන තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය පිළිබඳ පැවති මාධ්‍ය හමුවේදී කුසල් මේ බව පවසා සිටි අතර,මෙහිදී වැඩිදුරටත් ඔහු පවසා සිටියේ,එංගලන්තයට රැකගත යුතු දෙයක් තිබෙන බැවින් එහි පීඩනය ඔවුන්ට තිබෙන බවයි.

තවදුරටත් අදහස් දැක්වූ කුසල්,

අපි එංගලන්තයට වඩා ශ්‍රේණිගතකිරීම්හි ගොඩක් පහළින් ඉන්නේ.ඒ නිසා අපි ඉන්න මට්ටම අනුව අපට නැතිවෙන්න දෙයක් නැහැ.අපට පුළුවන් දෙයක් ඇතිකරගන්න විතරයි.නමුත් එංගලන්තයට නැතිවෙන්න දෙයක් තිබෙන නිසා ඒ පීඩනය හැම වෙලාවෙම ඔවුන්ට තිබෙනවා.

කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායමට අදේශ කරන්න ඕන තරම් ක්‍රීඩකයෝ ඉන්නවා.විශේෂයෙන් ඔවුන්ගේ පිතිකරණ අංශය ගොඩක් ශක්තිමත්.ඔවුන්ගේ අඩුපාඩුවක් තිබෙනවානම් තිබෙන්නේ පන්දු යවන්නන්ගේ.නමුත් ඉන් කියවෙන්නේ නැහැ ඔවුන්ගේ ක්‍රීඩාකරන පන්දු යවන්නන් දක්‍ෂතා අඩුයි කියලා.කෙසේ නමුත් අපි උත්සාහ කරන්නේ ඔවුන්ගේ තිබෙන දුර්වලතා හඳුනාගෙන එය අපට වාසියක් කරනගන්න”යැයි පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා සංචිතයේ පිතිකරණ පිළිවෙල පිළිබඳ කුසල්ගෙන් විමසා සිටි අතර,ඊට ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්,

“තරගයට කළින් කියන්න අමාරුයි කුසම කණ්ඩායමද ක්‍රීඩාකරන්නේ කියලා.අපි තවම කණ්ඩායම තීරණය කරලා නැහැ.අපි ඉදිරිපෙළ ඉන්න පිතිකරුවන්ට වැඩි අවස්ථාවක් දෙන්න බලනවා.ඔවුන් ක්‍රීඩාකරන ස්ථාන මාරු නොකර,එයාලා ක්‍රීඩාකරන ස්ථානවලම ක්‍රීඩාකරන්න අවස්ථාව දෙන්න ගොඩක් උත්සාහ කරනවා.එවිට ඒ අයට තැනින් තැනට මාරු වේවි ක්‍රීඩාකරනවාට වඩා,එක් ස්ථානයක සිට ලකුණු රැස්කරන්නේ කොහොමද කියලා තේරුම්ගන්න පුළුවන් වෙයි.

සමස්තයක් ගත්තාම අපේ පිතිකරුන්ගේ ධනාත්මක වර්ධනයක් තිබෙනවා.ඒ නිසා අපි ගොඩක් දුරට බලාපොරොත්තුව ඉන්නේ පිතිකරුවන් 06ක්, තුන්ඉරියව් ක්‍රීඩකයන් 02ක් හා පන්දු යවන්නෝ 03ක් සමග ක්‍රීඩාකරන්න.කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ගේ වෙනසක් වුණොත් බොහෝ දුරට මම අංක 03 ක්‍රීඩා කරනවා”.

පුහුණු තරගවලින් ලැබුණ අත්දැකීම් හා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය සම්බන්ධයෙන්ද කුසල්ගෙන් විමසා සිටියේය,

“අපි පුහුණුවීම් කළේ මැන්චෙස්ටර්වල.නමුත් තරග පැවැත්වෙන කාඩිෆ්වල සීතල වැඩියි.ඒ නිසා අපට ලොකු අභියෝගයක් දේශගුණයට හුරුවෙන එකට.කෙසේ නමුත් අපට පුහුණු තරග ක්‍රීඩාකරන්න ලැබුණා.එය පුහුණුවීම් කරනවාට වඩා ගොඩක් හොඳ දෙයක්.පිතිකරුවන්ටත් පන්දු යවන්නන්ටත් තේරුම්ගන්න පුළුවන් තමන් ක්‍රීඩාකළ යුතු ආකාරය ගැන.

අවසන් වශයෙන් ධනංජය ලක්‍ෂාන්ගේ ආබාධ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් කුසල් පැවසුවේ,ධනංජයගේ ආබාධ තත්ත්වය මේ වනවිට සුව වෙමින් තිබෙන බවයි.බොහෝ දුරට ඔහුට මෙම තරගාවලියේදී ක්‍රීඩාකිරීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.