නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් හත් දෙනෙකු මියගොස් තිබේ.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෙනත් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකට ගැටීමෙන් අනතුර සිදුවී තිබුණි.
එම අනතුරෙන් පාසල් සිසුන් 41 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය පැවසීය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් නුවරඑළියේ අධ්‍යාපන චාරිකාවක නිරතවී අද පස්වරුවේ ආපසු කොළඹ බලා එමින් සිටියදී අනතුරට ලක්වී තිබුණේ හැටන් නුවරඑළිය මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය ප්‍රදේශයේදීය.
එහිදී නුවරඑළියේ සිට හැටන් දෙසට ධාවනය වෙමින් තිබු බස් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී තිබේ.
පාසල් සිසුන් රැගත් බස් රථය එලෙස ගැටීමෙන් පසු අඩි 100ක පමණ ප්‍රපාතයකට ගොස් ඇති බවද වාර්තා විය.
බස් රථයේ ගැටුණු වෑන් රියේ සිටි 06 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර වෑන් රථයේ සිටි 05 දෙනකු එකම පවුලේ සාමාජිකයින් බව සඳහන් ය.
වෑන් රථයේ ළමයින් තිදෙනෙකු ද සිට තිබුණි.
බස් රථය තුළ තර්ස්ටන් විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ සිසුන් 41දෙනෙක්, ගුරුවරු සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූ ඔවුන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ප්‍රදේශවාසීන් එක්වී තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට යුහුසුළු විය.
පාසල් සිසුන් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුවී නැති බව තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා අද දෙරණට තහවුරු කළේය.
මේ අතර අනතුරට ලක්වූ සිසුන්ට කඩිනම් සහන සලසන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.
සිසුන්ට බරපතළ තත්ත්වයක් ඇතිවුවහොත් ඔවුන් කොළඹට රැගෙන ඒම සඳහා ගුවන් පහසුකම් ද කඩිනමින් සලසන ලෙස ජනාධිපතිවරයා ගුවන් හමුදාවට උපදෙස් දී ඇත.