නර්ස් නෝනාගෙන් ඉස්කෝලේ නෝනාට ලියුමක්…

2097

ආදරණීය ඉස්කෝලේ නෝනා වෙත. අවුරුදු දෙකක් තිස්සේ උදේ රෑ මහන්සි වෙලා දැන් හොදටම මහන්සී. කෑම විනාඩි 15 ලැබුණු පුංචි විවේක වෙලාවේ තමයි මේ ලිපිය ලියන්න ඉදගත්තේ.

දයාබර ගුරු අම්මේ, අපිට ගොඩක් මහන්සී. දැන් අවුරුදු දෙකක්, අපේ ජීවිතේ මේ වයිරසයෙන් උදුරගෙන ඉවරයි. අපේ දරුවෝ ලොකු වෙනවා. උන්ව අපි දකින්නේ දවස් තුනකට වගේ වතාවක්. ඒ දවසටත් අපිට එයාලා ලගට යන්න බයයි. පැය විසි හතරම ඇහැට නොපෙනෙන වයිරසයක් එක්ක, ඉටි රෙදි ඔතාගෙන, දාඩිය පෙරාගෙන ඔට්ටු වෙලා අපි දවස් තුනකට හතරකට සැරයක් අපේ දරුවෝ, ස්වාමියෝ, දෙමව්පියෝ බලන්න එන්නෙත් හිතේ ගොඩක් බයෙන්. අපිට මොනදේ උනත්, අපේ දරුවො, අම්මලාට අපෙන් කරදරයක් වුනොත් අපි ජීවත් වෙලා මොකටද?

අපි අද මෙතන ඉන්නෙත් ඔබ වගේම ගුරු දෙවිවරුන් නිසා. කිසිම දාක ඒ දේ අමතක වෙන්නේ නෑ. අපි දන්නවා. ගුරුතුමියකගේ සේවය මිල කරන්න බෑ. ඔබට ප්‍රශ්න ඇති. ඒත් ඉල්ලීම් දිනාගන්න පොදි පිටින් පාරට බහින්න කලින්, 225 මට්ටු කරන්න කලින්, තව පොඩ්ඩක් අපි වෙනුවෙන්, අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉවසන්න පුලුවනිද. මේක බැගෑපත්ව කරන ඉල්ලීමක්.

අපිටත් ආසයි ඉස්සර වගේ අපේ දරුවෝ එක්ක කාලේ ගත කරන්න. ගිය කාලේ රට වැහුවත්, ඔබලා ගෙවල් වල හිටියත්, අපි හිටියේ රෝහලේ, අපි හිටියේ ගිලන් රථයේ. අපේ දරුවෝ නිදාගත්තේ එයාලගෙ ආච්චිලා, සීයලා එක්ක. මේ ගෙවෙන්නේ අපේ දරුවොන්ගේ දරු සුරතල් බලන කාලේ. අපිත් නොදැනිම, අපි ලග නැතිව එයාලා ලොකු මහත් වෙනවා.

තවත් මේ දේ වැඩි උනොත් ඉස්සරහට අපිට ගෙදර එන්නම බැරි වෙයි. දැන් තත්ත්වය ගොඩක්ම බරපතලයි. රෝහල් පිරිලා. අපිට රෝහලේ ඉදලා ගෙදර අපේ දරුවන් ලගට යන්න බයයි. අනේ ගුරු අම්මේ. තව චුට්ටක් ඉවසන්න. ඔන්ලයින් එපා, වර්ජනේ කරන්න. කමක් නෑ. ඒත් ගෙදරට වෙලා ඉන්න. දරුවෝ ඉගෙන නොගත්තත්, උන් ජීවත් වෙලා හරි ඉන්න ඕනේ. අපිට උන් ලගට යන්න ඕන.

තව ටිකක් ඉවසන්න. 225ටම විරුද්ධව අපි පාරට බහිමු. පාර්ලිමේන්තුව උනත් බිමට පෙරලමු. එදාට අපිත් එන්නම් ඔබතුමීලා එක්ක. ඒත් දැනට. ටිකක් ඉවසන්න. ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න.

අපිට ගොඩක් මහන්සී!
තෙරුවන් සරණයි!
මීට,ආදරණීය නර්ස් නෝනා…