BREAKING NEWS
Search

නත්තලට රූපවාහිනියේ අසංවර වැඩසටහන් එපා -අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ඉල්ලති

234

කොවිඩ් තත්ත්වය හමුවේ මෙවර නත්තල් උත්සවයේදී ආගමික පිළිවෙත්වලට පමණක් මුල් තැන දෙන බැවින් පවුලක් ලෙස ගෙදර අය සමග නත්තල් මංගල්‍යය නිවසට වී සමරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

කොළඹ දී ඊයේ (17 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමි එසේ කියා සිටියේය.

හුදෙකලා කර නොමැති ප්‍රදේශවල වරකට පනහකට නොවැඩි පිරිසක් සමග නත්තල් දේව මෙහෙය නිරෝධායන නීතිරීති අනුව සිදු කිරීමට පියතුමන්ලාට අවසරය ලබා දී තිබෙන බවද උන්වහනසේ පැවසූහ.

නත්තල් මධ්‍යම රාත්‍රී දේව මෙහෙය දෙසැම්බර් මස 24 වැනිදා සවස 6.00 සිට පැයෙන් පැයට සුළු පිරිසකට පමණක් පවත්වමින් මේ වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන ලෙස කොළඹ අගරදගුරු පදවියේ සිටින කතෝලික පියතුමන්ලාට දැනුම් දී ඇති බවත් මධ්‍යම රාත්‍රී දේව මෙහෙය සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ශ්‍රී ලංකාවේ සිටින වතිකානු තානාපති රදගුරුතුමන් සහ තමාගේ සහායක රදගුරුතුමන්ලා රූපවාහිනී නාළිකා ඔස්සේ සජීවීව විකාශනය කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

එහි දී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද කියා සිටියහ.

‘‘මේ ළඟ එන නත්තල සම්බන්ධයෙනුත් අපි අනෙක් ජනතාව වගේ කැපවීමෙන් කටයුතු කළ යුතුයි.විශේෂයෙන් බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වය ඉතා නරක අතට හැරිලා තියෙන නිසා සෙසු පළාත්වලට ද පැතිරයෑමේ තර්ජනය පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා.ඒ නිසා වෙනදා මෙන් නත්තල සැමරීමට විවිධ දේ කිරීමට අපිට ඉඩකඩ නෑ,මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට විතරයි මුල්තැන දෙන්නේ.ඒ නිසා මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා කොළඹට ඇතුළුවෙන එක,කොළඹ සිට වෙනත් පළාත්වලට යන එක හැකිතාක් දුරට සීමා කරන්න.විශේෂයෙන් නත්තල් කාලයේ පුරුද්දක් තිබෙනවා නෑදෑයන් බලන්න යන එක.එය මේ අවුරුද්දේ නොකර ඉන්න උත්සාහ කරන්න.හැම දෙනාම ගමන් යන්න පටන් ගත්තොත් රෝගය වෙනත් පළාත්වලට යෑමේ අවදානම තිබෙනවා.සාප්පු සවාරි යෑම අවම කරන්න.මුදල් නාස්ති නොකර රැකියාවක් නොමැතිව නිවසට වෙලා සිටින පිරිසට නත්තල් තෑග්ගක් ලෙස සලකා උපකාර කරන්නට කටයුතු කරන්න. විනෝද ගමන්,පිරිස් එකතු වී සාද පැවැත්වීම කරන්න එපා.

රූපවාහිනී මාධ්‍ය නාළිකාවලින් මම ඉල්ලා සිටිනවා නත්තල කියා අසංවර වැඩසටහන් පැවැත්වීමෙන් වළකින්න. එය නත්තලේ අධ්‍යාත්මික පැත්තට සම්පූර්ණයෙන්ම වැරැදි අර්ථකථනයක් ලබා දෙනවා.නත්තල කියන්නේ සරල භාෂාවෙන් කිව්වොත් ජොලි කරන උත්සවයක් නොවෙයි. අධ්‍යාත්මික, ආගමික උත්සවයක්. නත්තල කියා අසංවර වැඩසටහන් පැවැත්වීමට අපි විරුද්ධයි. පවුලක් ලෙස ගෙදර අයත් සමග අර්ථවත් නත්තල් මංගල්‍යයක් ගත කරන්න කියලා මම කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් දිළිඳු ගවහලක උපන් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මෙනෙහි කරමින් දිළිඳුන් සමග නත්තලේ ප්‍රීතිය බෙදාගන්න කටයුතු කරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා.ඒ වගේම රජයෙන් සහ රජයේ ආයතන,පෞද්ගලික ආයතනවලින් මම ඉල්ලා සිටිනවා මෙවර නත්තල සඳහා සංවිධානය කරන්න බලාපොරොත්තු වන විශේෂ උත්සව මහා පරිමාණයේ සැණකෙළි,සාද නොපවත්වා ඒ සඳහා වැය වන මුදල් අසරණ වී සිටින ජනතාවට ලබා දීමට කටයුතු කරන්න.ඒ නිසා උත්සවවලට අපේ සහභාගිත්වයක් ලැබෙන්නේ නැහැ.

රජය සහ සෞඛ්‍ය අංශ අපට ලබා දී තිබෙන සෞඛ්‍ය උපදෙස්වලට අනුව ඉතා චාම් ලෙස මේ අවස්ථාව ගත කරන්න. විශේෂයෙන්ම සංචරණ සීමාවන් පනවා තිබෙන ප්‍රදේශවල සිටින ජනතාවට සෙත් සරණ ආයතන මගින් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. හැකි නම් එම වැඩපිළිවෙළට දායක වෙන්න.

ඉකුත් වසරේ (2019) අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයේ සිට නත්තල් මංගල්‍යයක් අපට සතුටකින් කරන්නට බැරි වුණා.අපි බලාපොරොත්තු වෙනවා මේ අඳුරු කඳුළු බර පරිච්ඡේදය අවසාන කර සාධාරණය ඉෂ්ට කර,එම කරන පරීක්ෂණ පරිපූර්ණත්වයට ගෙනත් ඒ වරද නැවත රටේ නොසිදුවන්නට කටයුතු සම්පාදනය වෙයි කියලා. එමගින් ලබන වසරේදීවත් නත්තල් උත්සවය සතුටින් පවත්වන්නට හැකි වේවි.