දුර්ලභ රෝගයකින් පෙළෙන බිළිඳියට පිළිසරණක් පතයි

485

අක්මාවේ රෝගී තත්ත්වයක් හේතුවෙන් අසීරු තත්ත්වයකට පත්වී ඇති මාස 5ක බිළිඳියක් පිළිබඳ පුවතක් වාර්තා විය.

ඒ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්ය.

ඉපදී සති දෙකක් යෑමටත් මත්තෙන් සොනාක්ෂිගේ සිරුර කහ පැහැයට හැරී තිබූ නිසාවෙන් මවුපියන් ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙනවිත් තිබුණි.

එහිදී අක්මාවේ තිබෙන ගැටලු සහගත තත්ත්වයක් අනාවරණයවීමත් සමඟ දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට යොමුකර තිබුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය.

සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ බිළිඳියගේ අක්මාවේ සිට බඩවැල දක්වා පිත රැගෙන යන පිත්තප්‍රනාලය අක්‍රීය බවය.

දරුවාට මාස කිහිපයකට පෙර ශෛල්‍යකර්මයක් සිදුකළ ද එය සාර්ථක වී නොමැත.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ශාමන් රජේන්ද්‍රජිත් මහතා සඳහන් කළේ,”බිළිඳියගේ අක්මාව බද්ධ කළ යුතුයි. ඉන්දියාවේ චෙන්නායිවල තමයි සාර්ථකව එය කරගන්න පුළුවන් වන්නේ. වියදම දෙමාපියන්ට දරන්න අමාරුයි,” යනුවෙනි.

ඒ අනුව වෛද්‍යවරුන් පවසන්නේ,අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වී ඇති බිළිඳියට හැකි ඉක්මණින් අක්මාවක් බද්ධ නොකළහොත් ජීවිතයට හානියක් සිදුවිය හැකි බවය.

මෙම ශල්‍යකර්මය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 08කි.

නමුත් ගොවිතැන සිය ජීවනෝපාය කරගත් සොනාක්ෂිගේ මාපියන්ට මෙතරම් මුදලක් සොයා ගැනීම දැඩි අසීරු කටයුත්තක් වී තිබේ.

ඒ නිසා බිළිඳියගේ මව ශාලිකා ලක්මාලි පවසන්නේ,”මේ මගේ පළවෙනි දරුවා.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මගේ දරුවගේ ජීවිතය බේරලා දෙන්න,” යනුවෙනි.

උපුටාගැනීම – අද දෙරණ