දුප්පතාගේ බඩට ගැසූ නාඩි ජනපති අණින් තහනම්-එළවළු චණ්ඩින්ටත් ජනපති බුද්ධි අංශ දමා සද්ද නැතුව ගේම දෙයි

375

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහළ නැංවීමට මුල් වූ අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නවතා දමා තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ගොවීන් , ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් සහ එළවළු මිලට ගැනීමට පැමිණෙන ව්‍යාපාරිකයන් අතර පමණක් ගනුදෙනු සිදු වන අතර සමස්ත එළවළු මිල ගණන්ද පහළ යනු ඇති.

දෛනිකව ලොරි 1500 ක පමණ එළවළු තොග පැමිණෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මෙරට වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තීරණය කරන ප්‍රධාන සාධකයක්ද වේ.

නමුත් කලෙක සිට අසාමාන්‍ය ලෙස එළවළු මිල ඉහළයාම් මෙන්ම එළවළු හිඟ තත්ත්වයන්ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා විය.

ඒ පිළිබඳ සොයා බැලූ බුද්ධි තොරතුරු ඒකක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වාර්තා කර ඇත්තේ වසර 5 ක පමණ කාලයක සිට එහි ක්‍රියාත්මක අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම එම තත්වයට හේතුව බවයි.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහළ නැංවීමට මුල් වූ එම අතරමැදි වෙළෙඳාම වහාම නවත්වා දැමීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

නාඩි වෙළෙඳුන් නමින් හඳුන්වන 300 කට අධික අතරමැදියන් පිරිසක් සෑම දිනකම අලුයම 4 වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන අතර ඔවුන් සිදු කර ඇත්තේ ගොවීන්ගෙන් ලැබෙන එළවළු තොග විශාල ප්‍රමාණයක් අඩු මිලට ගෙන , වැඩි ලාභයක් තබාගනිමින් නැවත අලෙවි කිරීමයි.

එමෙන්ම එම අතරමැදියන් ඇතැම් එළවළු වර්ග වල සියලු තොග මිලදී ගෙන වෙළෙඳපොළේ කෘත්‍රිම හිඟයක් මවා , පසුව එම එළවළු වැඩි ලාභයක් තබාගනිමින් ඉහළ මිල ගණන් වලට විකිනීම සිදු කර ඇතැයිද සඳහන්.

මෙවන් පසුබිමක අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳම නැවැත්වීමට පියවර ගැනීම පිළිබඳව ගොවීන් සහ පාරිභෝගිකයන් සිය ප්‍රසාදය පළ කර ඇත.

මේ අනුව එළවළු මිල මාෆියාවක් නිර්මාණය කිරීමට හේතු වූ අතරමැදි වෙළෙඳාම නැවතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රෙය් ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ.