දිනේෂ්ට කෝටි 5 යි සමිතට කෝටි 2 යි

774

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ලෝක වර්තාවක් තබමින් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට පැරාලිම්පික් රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි පහක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යංශය ඊයේ (01) තීරණය කර ඇත.ඒ අනුව මෙරට ක්‍රීඩා ඉතිහාසයේ තනි තරග ඉසව්වක ජයග්‍රහණයක් වෙනුවෙන් ක්‍රීඩකයෙක් වෙත පිරිනමනු ලබන ඉහළම ත්‍යාග මුදල ලෙසින් මෙය සටහන් වනු ඇත.

එසේම එම උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන්ට මුදලින් රුපියල් කෝටි දෙකක්ද පිරිනැමීමට තීරණය වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේම පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්තටද මෙම ක්‍රීඩකයන්ට හිමිවන ත්‍යාග මුදල් මෙන් සියයට විසි පහක ත්‍යාග මුදලක් ලබාදීමට තීන්දු වී ඇතැයි පැවසෙන අතර ඒ අනුව ප්‍රදීප් නිශාන්තට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ පහක මුදලක් පිරිනැමීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා කළ විමසුමකදී පැවසුවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් මෙම ජාත්‍යන්තර රන් පදක්කම දිනා ඇත්තේ ලෝක වාර්තාවක් සහිතව බැවින් ඔහුට රාජ්‍ය අනුග්‍රහයෙන් ලබා දෙන ත්‍යාග මුදල තීරණය කිරීමේදී ඔහු පිහිටු වූ ලෝක වාර්තතාව කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව කීය.

“ජාතික ක්‍රීඩා සභාව ජාත්‍යන්තර තරග ජයග්‍රහණය ලබන ශ්‍රී ලාංකිකයන්ට ත්‍යග මුදල් නිර්දේශ කිරිමේදී මින් පෙර ලෝක වාර්තාවක් පිහිටුවීමේදී අනුගමනය කළයුතු නිර්දේෂ සඳහන් වෙලා නෑ. ඒ නිසා මේ වෙලාව දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාගේ ලෝක වාර්තාවත් අවධානයට යොමු කරලා මේ ත්‍යාග මුදල තීරණය කළ යුතුයි.”වසර 2000 ‘සිඩ්නි” නුවරදී පැවති ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහට මුදලින් රුපියල් කෝටියකට වැඩි මුදලක් හැරෙන්නට කොළඹින් නිවසක් හා තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ දායකත්වයෙන් ප්‍රදානය කෙරුණි. මේ අතර රන් පදක්කම් ලාභි දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් හෙට්ටිආරච්චි ටෝකියෝ පැරලිම්පික් ශ්‍රී ලංකා නිල තරග කාලසටහනට අනුව හෙට (3) පාන්දර දිවයිනට ළගාවීමට නියමිතය.

එහෙත් එරට ශ්‍රී ලංකාවේ තානාපති සංජීව් ගුණසේකර මහතා ටෝකියෝ පැරලිම්පික් ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීමකට අනුව එහි නිල සමාප්ති උත්සවය අවසන් වන ලබන ඉරිදා (5) දක්වා ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරිව සිටින අය සමග දිවයිනට පැමිණීමේ අවස්ථාව ලබා දී තිබේ.

මෙම ටෝකියෝ පැරලිම්පික් ක්‍රීඩා ගම්මානයෙන් ක්‍රීඩකයන් පිටව යාමේ දී ගෙන තිබෙන ක්‍රියාමාර්ගය වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදීම අවසන්ව පැය 48ක් ඇතුළත දී එයින් පිටත්ව යා යුතු බවය. ඒ අනුව රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්ත හේරත්, ලෝකඩ පදක්කලාභි සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි පිරිස ලබන අගහරුවාදා (7) පස්වරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ළගාවීමට නියමිතය. එහිදී ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රභූ පර්යන්තයේ දී පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයේ දී රන් පදක්කම්ලාභින් රතු පලස එලා පිළිගැනීමට කටයුතු යොදා තිබේ.

කොවිඩ් නිවාරණ රෙගුලාසිවලට අනුකූලව ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පමණක් ගුවන් තොටුපොළේදී පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයට පෙර ඔවුන් ක්ෂණික පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කෙරේ.එයින් පසුව පිළිගැනීමේ උත්සවය පැවැත්වෙන අතර එහි මාධ්‍ය ආවරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔස්සේ සෙසු මාධ්‍ය වෙත මුදා හැරිමට කටයුතු යොදා තිබේ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම විවේක ගැනීම හා අනෙකුත් පහසුකම් සඳහා අවට සුපිරි සංචාරක හෝටලයක් ද මේ වනවිට වෙන්කර තිබේ.මේ අතර ටෝකියෝ පැරලිම්පික් උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් දුන්නෙන් විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර,මීගහමුල්ල දුර පැනීමේ ක්‍රීඩිකා කුමුදු ප්‍රියංකා දිසානායක හා මීටර් 400 ක්‍රීඩක සමන් මධුරංග සුබසිංහ හෙට දිනයේ දී මූලික වටයේ තරග සඳහා සහභාගිවීමට නියමිතය.

නාමල් පතිරගේ