දෑස නොපෙනෙන පියා වෙනුවෙන් දියණිය කරන සංවේදී ඉල්ලීම (PHOTOS)

386

වසර කිහිපයක සිට හිටි හැටියේම දෑස් නොපෙනී ගිය තම ආදරණීය පියාගේ ඇස් දෙක සුව කර දෙන්නැයි හතර වන වසරේ අධ්‍යාපනය ලබන ආදරණීය දියණියක් මුළුමහත් සමාජයේන් ඉතා අහිංසක ඉල්ලීමක් කරයි.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාදිපොල කැන්දන්ගමුව ගම්මානයේ ජීවත්වන ඒ.එච්.එම්.අශෝක් බණ්ඩාර (51) මහතා මීට දස වසරකට ඉහත සිට ඇස් නොපෙනී ගොස් දැඩි අසරණභාවයට පත්ව සිටින බව ඔවුන් පවසනවා.

දෑස් නොපෙනෙන අශෝක බණ්ඩාර ඔහුගේ බිරිද නයනා කාන්ති (49) සහ 4 වැනි වසරේ ඉගෙනුම ලබන තවමත් දස හැවිරිදි වියේ පසුවන හිමායා ජනන්දී බණ්ඩාර දියණිය සමග කුඩා නිවසක ජීවත් වෙනවා.

මෙම අසරණ පවුල දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බවත් මෙම දියණිය තම මවට සහ පියාට පුදුමාකාර ආදරයක්,ඇල්මක් දක්වනවා. ගමට එන සෑම අයෙකුටම තම පියාගේ දෑස් සුව කර දෙන්නැයි ඇය ඉල්ලා සිටින පුවත අපට ආරංචි වුණා.

යන්න එන්න පාරක් තොටක් නොමැති අති දුෂ්කර වූ ගම්මානයක මෙම පවුල ජීවත් වෙන අතර එම ගම්මානයේ පාලමක් තැනීම සඳහා පැමිණි ඉංජිනේරුවරයෙකු මෙම දියණිය පිළිබඳව අපට විස්තර දැනුම් දීමෙන් කියා සිටියේ මෙම දියණිය නිරන්තරයෙන් තම දෙමාපියන්ට දැඩි ආදරයක් ගෞරවයක් දක්වමින් තම පියාගේ දෑස් සුවපත් කර ගැනීම සඳහා දැඩි අධිෂ්ඨානශීලීව සිටින දියණියක් බවය.

මෙම නිවසට අප ගමන් කරන විට දියණිය මව සහ පියා සමග කුඩා පොහොර බෑග්වලින් නිවසේ ගෙබිමේ ඇති වලවල් මකා ගැනීම සඳහා වැලි අදිමින් සිටින බව දැකගැනීමට හැකි වුණා.

නිවසේ සිට මීටර් තුන් සියයක් පමණ ඈත ඇළ ඉවුරකින් ගොඩ දමා ගන්නා වැලි පුංචි ගෝනි කර තබාගෙන පියාගේ අතින් කණවැල අල්ලාගෙන මෙම පුංචි දියණිය මවට,පියාට සහය වෙමින් වැලි අදින සංවේදී දසුන් අපගේ නෙත් වලට ද කඳුළක් එක් කරන්නට වුණා.

පුංචි හිමායා මුළුමහත් සමාජයෙන් ඉල්ලා සිටියේ ආධාර ආහාර හෝ නිවස තනා ගැනීම නොව තම පියාගේ දෑස් සුවපත් කර දෙන ලෙසයි.ඔවුන්ට විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත හෝ වෙනත් ස්ථානයකට ගොස් දෑස් සුවපත් කර ගැනීම සිහිනයක්ව ඇත්තේ ආර්ථික දුෂ්කරතාවයන් නිසාවෙනි.එහෙත් දිවයිනේ බොහෝ රෝහල්වලට මෙන්ම දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්,පාරම්පරික වෛද්‍යවරුන් හමු වී වසර ගණනාවක් තිස්සේ දෑස සුවපත් කර ගැනීම සඳහා උත්සාහ කළ බව අශෝක බණ්ඩාර මහතා අප සමඟ පැවසුවා.

බටහිර වෛද්‍යවරුන් තම දෑස් සුවපත් කර ගැනීමට නොහැකි බව පැවසූවද දේශීය වෛද්‍යවරුන් දෑස් සුවපත් කර ගැනීමට හැකි වන බව පවසන බවද ඒ මහතා පැවසුවා.

දියණියගේ ඉදිරි බලාපොරොත්තුව වන්නේ ගුරුවරියක් වීම බවත් එහෙත් තම එකම ඉල්ලීම බවට පත් වන්නේ කවුරුන් හෝ නැන්දා කෙනෙක් මාමා කෙනෙක් ඉදිරිපත් වී තම අප්පච්චිගේ දෑස් සුවපත් කර දෙන ලෙසය.

තම දියණිය නොසිටින්නට තමා මේ වන විට ජීවිතයෙන් පවා සමු ගෙන තිබෙන බවත් දෑස නොපෙනුණු කාලයේ ගස් වල,බිත්තිවල,නළල වැදී විශාල ලෙස පීඩනයකට පත්ව සිටි බවත් දැනටත් එම අමිහිරි අත්දැකීම් වලට නිතර නිතර මුහුණ දෙන බව ඉතා සංවේදීව අශෝක් බණ්ඩාර අප සමග පැවසුවා.

ඔවුන් අබලන් වූ මහගෙදර ජීවත් වන ඔවුන් නිවසක සිහිනය ද සැබෑ කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇතැයි අශෝක් බණ්ඩාර අප සමග කියා සිටියේ දියණියට තම රැකවරණය නොමැති තැන අඩුම තරමේ දොර වසාගෙන නිවසේ රැකවරණ පිට ජීවත් විය යුතු පරිසරයක් තනා ගැනීම බවය.

මෙම අසරණ දියණියද ඇතුලු පවුලේ තිදෙනාට ඔබේ සහයෝගය ලබා දිය හැකි නම් එය මහත් පුණ්‍ය කර්මයක්.

(දඹුල්ල – කාංචන කුමාර ආරියදාස)