දසුන් ශානකගෙන් නායකත්වය ඉවත්කරන්න ජේශ්ඨයන්ගේ සැළසුමක් -⁣ අරුණ පුවත්පතෙන් හෙළිදරව්වක්.!

1845

ජයමගේ සිංහනාද අතරින් ඇසෙන බලු කෙඳිරිලි හා යැවෙන පිල්ලි ජයග්‍රහණයේ අත්දැකීම යනු කුමක්දැයි අමතක වන තරමටම පරාජයේ ගැලී වෙලී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කලකට පසු පිට පිටම තරගාවලි දෙකක ජයග්‍රාහී අත්දැකීම විඳ ගත්තේය.

දසුන් ශානක ප්‍රමුඛ යොවුන් ජවය සිය හැකියාව මෙන්ම කණ්ඩායම් සාමුහිකත්වයද පදමට මුසුකර රටේ මතුව ඇති කප්පරක් ප්‍රශ්න මදකට අමතක කර සතුටින් අත්පුඩියක් තලන්නට අවස්ථාව රටවැසියාට දෙනු ලැබීය. එසේම කප්පරක් වූ මෑත ඉතිහාසයේ ක්‍රිකට් පරාජයන්ද අමතක කරවීමට හේතු විය.

එමතුද නොව, 2023 මීළඟ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පෙරළිකාර කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති බවට අනාගත වාක්‍ය සැපයීමට ද පරාජයෙන් පදම් වෙමින්, අත්දැකීම් ටිකෙන් ටික අහුලා ගනිමින්, සටන්කාමීත්වය ප්‍රගුණ කරමින් පෙරට ඇදෙන මේ තරුණයෝ සමත්ව සිටිති.

නමුත් මේ ක්‍රිකට් ජයග්‍රහණ විසින් මෙරට අහිංසක ක්‍රිකට් ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත්වද්දී, රටේ කරුමයක් හේතුවෙන්දෝ මෙහිම උපන්, ක්‍රිකට් ක්‍රීඩාවටම සම්බන්ධ අවස්ථාවාදී, ආත්මාර්ථකාමීන් කිහිප දෙනෙක්ට මේ ජයග්‍රහණය නයාට අඳුකොළ මෙන් බව රට්ටු නොදනිති.

නමුත් මෙම ජයග්‍රාහී රිද්මය නොරුස්සන, එයට අකුල් හෙලන, එයට වළ කපන, කාගේ බෙල් ල කපල හරි මාගේ මල්ල පුරවගමී’ යන්න ආදර්ශ පාඨය කරගත් මෙකී චරිත මෙම ජයග්‍රාහී ගමන පසුපස හඹා එමින් කකුල් මාට්ටු දැමීමට උත්සහ කරන බව සත්‍යයකි.

ජයග්‍රහණය වෙනුවෙන් හුරේ දැමීමට වඩා මේ මොහොතේදී වැදගත් වන්නේ මෙම විෂ බීජ ගැන ලෝකයාට හෙළි කිරීමය. එමගින් ජයග්‍රහණයේ ‘නිරෝගී සවිය වඩවා ජයග්‍රහණයේ ආයු කාලය වැඩි කිරීමය. මේ හෙළිදරව්ව ඒ වෙනුවෙනි.

කල්ලි ගැසෙන විස බීජ

එහිදී සියල්ලට පෙර කළ යුත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් යොවුන් කණ්ඩායමක් ගැන විශ්වාසය තැබීමට ජාතික තේරීම් කමිටුව කටයුතු කළ දා පටන් මේ දක්වා කාලයේදී පැමිණි විවේචන සහ එම විවේචන නැගු උදවිය කවුරුන්ද යන්න සීරුවෙන් විමසීමය. එහිදී මෙම විෂබිජ ක්‍රියාත්මක තැන් මොනවාද යන්න තේරුම්ගත හැකිය.

නවකයන්ට ජාතික කණ්ඩායමේ දොරටු හැරදීමත්, ජ්‍යෙෂ්ඨ යැයි සම්මත වූවන් ජාතික කණ්ඩායමෙන් පිටමං කිරීමටත් පෙර, මෙරට ජ්‍යෙෂ්ඨයන් රැසක්ම සහභාගී වූ අවසන් තරග අවස්ථාව වූයේ ගාල්ලේදී එංගලන්තය සමගින් පැවැති ටෙස්ට් තරගාවලියයි.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු හැමදාම පාහේ මෙරට පන්දු යැවීමේ තත්ත්වයන්ට වාසිදායක වූවකි. නමුත් මෙම තරගාවලියේදී ජ්‍යෙෂ්ඨයන් රැසක් සහ රටට වාසිදායක වූ තණතිල්ලක සියලු වාසි ගත්තේ එංගලන්ත පිලය. දවස් තුනෙන් ටෙස්ට් හරඹ නිමාවිය. මෙරට ක්‍රීඩකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වයේ උජාරුව දියාරු වී ගියේය.

ජ්‍යෙෂ්ඨයන් කෙරෙහි තවදුරටත් බලාපොරොත්තු තැබීම වෙනුවට 2023 ලෝක කුසලාන ඉලක්ක කරගනිමින් යොවුන් ක්‍රීඩකයන් පිරිසක් වෙත අවස්ථාව ලබාදීම පිණිස ආසන්නම නිමිත්ත වන්නේ මේ ගාල්ලේ පරාජයයි. බොහෝ විස බීජ හටගන්නේ මෙතැන් සිටය.

නවකයන්ට ජාතික කණ්ඩායමේ දොරටු හැරදීමේ පෙරළිකාර තීරණයත් සමගින් ජ්‍යෙෂ්ඨත්වය යන්න එකම සාධකය කරගනිමින් යලටත් මහටත් දස්කම් දැක්වූ ක්‍රීඩකයන් පිරිසක් එළියට විසිවිය.

එතැන් පටන් ඔවුන් අතරින් කිහිප දෙනෙක් සන්ධානගතව සහ වෙන වෙනම, ජාතික කණ්ඩායමට නොයෙක් ආකාරයෙන් පහරදීමේ කටයුත්ත ඇරඹුණි. මෙය එක්තරා න්‍යාය පත්‍රයකට අනුව සිදු විය. එතෙක් මෙතෙක් කාලයේදී මෙම සැඟවුණු න්‍යාය පත්‍රයේ වන ප්‍රහාරක අංග රැසක් එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක වෙමින් පවතී. පසුගිය කාලයේ ජාතික කණ්ඩායමේ විශාල සංයුතියකට උරුමකම් කී කොළඹ එක්තරා පාසලක් වටා මෙම කුමන්ත්‍රණකාරයන් කේන්ද්‍රගතව සිටිතැයි කියති.

නවකයන්ට අවස්ථාව ලබාදීමේ ප්‍රති බියේදී එකී පාසලෙන් පැමිණ ජාතික කණ්ඩායමේ ආධිපත්‍යය රැකගෙන සිටි පිරිසට පිටමං වීමට සිදු විය. ජාතික කණ්ඩායමේ තේරීම ප්‍රතිපත්තියට පහරදීම සහ මතු වී එන සමහරක් ක්‍රීඩකයෙක් එක් තරඟයක් අසාර්ථක තැනින් සංවිධානාත්මක ලෙස විවේචන පිට විවේචන එල්ල කිරීම පසුපස සිටිනුයේ මේ පිරිසය. මේ වෙනුවෙන් ඔවුහු මුහුණ පොතෙහි සිටින “පේජ් කාරයන්ව” කුළියට ගැනීමේ සිට ජාත්‍යන්තර තරග වේදිකාවේ සියුම් කැපිලි දැමීම දක්වා පරාසයක ක්‍රියාත්මක වෙති.

ඉකුත්ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා වූ මොහොතක එම ජයග්‍රහණය උදෙසා කණ්ඩායම එකමුතු ලොවටම ඇසෙන්නට එක්තරා විස්තර විචාරකයකු කු*හකම කු හක ප්‍රශ්නයක් ඇසීය.

එවැනි ජයග්‍රාහී වේදිකාවක ඇසීමට වැදගත් ප්‍රශ්න තිබියදී එවැනි කුහක ප්‍රශ්නයක් ඇසීම හරහා එළියට ආවේ ක්‍රිකට් ආධිපත්‍යය ගිලිහී ගිය එකී කොළඹ පාසලේ විය රුව සහ එය ක්‍රියාත්මක වන සියුම් ආකාරයද?

ජ්‍යෙෂ්ඨ පිල්ලි

මේ අතර කණ්ඩායම් හැඟීමට පිළ ලයක් වූ මෙන්ම කල් ඉකුත් වීමට ආසන්නයේ සිටින තවත් ක්‍රීඩකයෙක් ඉකුත් දිනක මෙරට ක්‍රීඩාවේ දැවැන්තම චරිතයක් හමුවීමට ගොස් තිබුණේ මෙයට දශක තුනකට සහ හතරකට එපිට ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රබල ක්‍රිකට් චරිත දෙකක්ද සමගිනි. එහි ගොස් ඔවුන් විසින් වත්මන් තේරීම් ක්‍රමවේදය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කරමින් කරුණු දක්වා වලට පිළිතුරු දීමට තිබුණි.

ඔවුන්ගේ විවේචන කෙරීම් කමිටු සාමාජිකයෙක් හෝ නොවූ බැවින් මේ පිරිස එකී ක්‍රීඩාවේ දැවැන්ත චරිතය හමුවේ පාළුයගෙයි වළන් බින්දේය. එසේ වුවද එම චරිතය මෙම උසිගැන්වීම්වලට නතු නොවූ අතර තේරීම ප්‍රතිපත්තියට කිසිදු බලපෑමක් නොකර කාලයාට ඉඩ දී වැඩේ කෙරෙන අයුරු පිළිබඳව බලා සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ ඉකුත් ජයග්‍රහණ ද්විත්වයයි.

මේ අතර ජාතික කණ්ඩායමේ අවස්ථාව අහිමි වූ තවත් ජ්‍යෙෂ්ඨයෙක්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් ඉතිහාසගත චරිතයක් සමග එකතුව මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රබල පුද්ගලයකු පසුපස යමින් සිටියි. එහිදී මෙකී ක්‍රීඩකයාගේ උත්සහය වනුයේ එකී ඉතිහාසගත ක්‍රිකට් චරිතයට තේරීම් බලයක් ලබාදීමය.

එහි අවසන් ඉලක්කය තම හිතෛශිවන්තයාට ලැබෙන තේරීම් බලය යොදා ගනිමින් තමන් නැවතත් ජාතික කණ්ඩායමට දොරටු විවර කර ගැනීමය. ඒ වක්‍ර ඉලක්කයට ද මේ දක්වා අවස්ථාවක් ලැබෙන අයුරක් පෙනෙන්නට නැත.

එපමණක් නොව. මේ අතරවාරයේ තවත් ක්‍රීඩකයෙක් නිල ඇඳුමක බලය යොදාගනිමින් ජාතික කණ්ඩායමට ආක්‍රමණකාරී ප්‍රවේශයක යෙදෙන අතර එය මේ දක්වා යම්තාක් දුරට සාර්ථක වී ඇති අයුරක්ද දිස්වේ. නමුත් එකී බලපෑම්, ගොඩ නැගෙමින් පවතින ජයග්‍රාහී රිද්මයට හානියක් මිස ශක්තියක් නම් නොවෙනු ඇත.

හිසරදයක් වන කමිටු ලොක්කෙක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පෝෂණයක් ලබාදීම වෙනුවෙන් ස්ථාපිත එක්තරා කමිටුවක හැසිරීමද මෙහිදී නොයෙක් ආකාරයේ ගැටලු මතු කරවන්නක් වී ඇති බව සැලවේ. තමන්ට පැවරී ඇති වගකීම් වපසරිය මත පිහිටා කටයුතු කරනු වෙනුවට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දෑ වෙත නිතර අතපෙවීමට මෙකී කමිටුවේ ප්‍රබලයෙක් පෙලඹී සිටියි.

මෙම හැසිරීම ක්‍රිකට් පරිපාලනයේ සමහරෙක්ට මෙන්ම ජාතික තේරීම් කමිටුවට ද හිසරදයක් වී ඇති අතර ‘බල්ලගේ වැඩේ බූරුවා කරන්නට යෑමෙන් වැළකී තමන්ට පැවරී ඇති වගකීම පිළිබඳව පමණක් අවධානය යොමු කරමින් එකී කමිටු ප්‍රධානියා කටයුතු කරන්නේ නම් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නිදහසේ ගලා යෑමට හේතුවක් වනු ඇත.

තණතීරු සැකසුවේ ලංකාවට වළ කපන්නද?

එසේම පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකාව සමග එක්දින තරගාවලියේ පළමු තරග දෙකෙහි තණතීරුව සැකසීම සම්බන්ධයෙන්ද බරපතළ නිහඬ විවේචන පවතී. ඕනෑම රටක් තරගයක සත්කාරකත්වය දරද්දී, තණතීරු සැකසෙන්නේ තම රටේ කණ්ඩායමට වාසිදායක වන ආකාරයට වීම අරුමයක් නොවේ.

ඉකුත්දා බංගලිදේශය විසින් තම රටේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය හාන්සි කෙරුවේ’ තම දඟපන්දු බල ඇණිය වෙනුවෙන් ගැළපෙන තණතිලි ලබා දෙමිනි. නමුත් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මෙකී පළමු තරග දෙකේදීම තණතිල්ල සකසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂා කළ ආකාරයට නොව, එයට ප්‍රතිවිරුද්ධ ආකාරයටය.

වාසනාවකට මෙන් එකී පළමු තරගයේදී කාසියේ වාසිය දිනාගත් නිසා ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව අනාථ විය.

මෙම තණතිලි සැකසීමේදී ජාතික කණ්ඩායමේ ඉල්ලීම්වලට පිටුපා ක්‍රියා කළේ කවුරුන්ද? එය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රාහී රිද්මය වැළැක්වීමේ අරමුණින් සිතාමතාම සිදු කළ යමක්ද, නැතිනම් මේ තණතීරු සැකසීම බුකී බලවේගයකට හසුවීද යන්න ගැන බලධාරීන් වෙනම විමසා බැලිය යුත්තකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එකී තරගාවලිය ජයගත්තේ මෙවැනි කකුල් මාට්ටු අතරින් බව පැහැදිලිය.

නායකත්වයට පහර දීම

ජාතික කණ්ඩායමේ නායකත්වයට පහරදීමේ වෙනම තැනක් මේ අතර ක්‍රියාත්මක වෙන බව පෙනෙන්නට තිබෙයි. තමන්ගේ පාදයේ තුවාලයක් ද සහිතව, ඒ ගැන කිසිවක් ප්‍රසිද්ධියේ පවසා ‘නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී වේදනාව දරාගනිමින් තමන්ගේ පාඩුවේ කණ්ඩායම මෙහෙයවා ජයග්‍රහණය ලබාදුන් දසුන් ශානකගේ පිතිහරඹය විවේචනයට ලක්කරමින් මුහුණු පොතේ ‘පෝස්ට්’ දමන ‘කුලී පේජ් බළකාය’ මෙහෙය වන්නේ නායකත්වයට පහරදීමේ එම ‘ගරිල්ලා’ ක්‍රමවේදය විසිනි.

දසුන් ශානක යනු හයේ පහර 16ක් සහිතව දේශීය ක්‍රිකට් පිටියේ දැවැන්තම පිති හරඹයක් දැක්වූවකු බව යටපත් කරමින් ක්‍රිකට් පිළිල විසින් මෙහෙය වන මෙකී බල වේග නොකඩවා ක්‍රියාත්මක වෙමින් සිටියි.

ඒ කෙසේ වෙතත් මේ වන විට ජාතික තේරීම් කමිටුව විසින් හැදෙන ගස්, පැළ කර ඇත. හැදෙන ගස දෙපෙත්තෙන් දැනේය යන කියමන සනාථ වී, මේ හැදෙනුයේ අනාගත විසල් රුක් බවට සාධාරණ දක්ෂතා ඔප්පු වී තිබේ. දැන් කළ යුත්තේ මේ කණ්ඩායමට තවත් වසර දෙකක කාලයක් නිදහසේ වැඩෙන්නට ඉඩ දීමය.

ජ්‍යෙෂ්ඨත්වය යන්න, කණ්ඩායමේ ශක්තිය වැඩීමට හේතුවන ලෙසින් එක් කිරීම මිස, ජ්‍යෙෂ්ඨත්වය විෂබීජයක් ලෙසින් කණ්ඩායම තුළට කාවැදී එහි කණ්ඩායම් හැඟීම ඔත්පල වන තැනට ක්‍රියා නොකිරීමට වග බලා ගැනීමය. යම් ජයග්‍රහණයක් ලැබුවේ නම්, ඒ සඳහා හේතු වූ තීන්දු තීරණ ද, එම තීන්දු තීරණ ගැනීමට එඩිතර වූවන් ද හඳුනා ගනිමින් ඔවුනට පාඩුවේ සිය වැඩ කොටස කරගෙන යෑමට ඉඩකඩ සලසා දීමය. එසේ නොවන්නට ක්‍රීඩකයා ද, තේරීම් කමිටුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයද, ක්‍රීඩා අමාත්‍යවරයාද පමණක් නොව ආණ්ඩුව ද බැණුම් අසන්නේය.

බලධාරීන් මෙකී සරල සත්‍ය තේරුම්ගැනීම වටියි.

– ඉන්දුජිත් සුබසිංහ

(අරුණ පුවත්පත විසින් පළ කරන ලද සටහනක් ඇසුරිණි)