දරු ප්‍රසූතියෙන් පසුව දෙණියාය රෝහලෙන් මාතරට යැවුණු මව ගිලන් රියේදී මිය ගිය හේතුව මෙන්න

259

දෙණියාය, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් සිය සිවුවැනි දරු ප්‍රසුතිය සඳහා දෙණියාය මූලික රෝහලට පසුගිය 01 දින ඇතුළත් කොට දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යැවීමේදී ගිලන් රථයෙන් රැගෙන යන අතරතුර ඇය මියගොස් දරුවාගේ ජීවිතය බේරුණු පුවතක් දෙණියාය රෝහලෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ දෙණියාය, ඉහළගම, මිරිස්වත්ත, වඩුගේවත්ත යන ලිපිනයේ පදිංචි 36 හැවිරිදි ජීවනී චේතිකා නමැති සිවු දරු මවකි. ඇය 30 දින වෛද්‍ය උපදෙස් පරිදි සිය සිවුවැනි දරු ප්‍රසුතිය සඳහා දෙණියාය මූලික රෝහලට සිය සැමියා සමඟ ගොස් නතර වී ඇත. පසුගිය 01 දින දවල් දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරුව අධික රුධිර වහනය හේතුවෙන් රෝහලේ ඒ සඳහා පවතින අඩු පහසුකම් නිසා මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට රෝහල් ගිලන් රථයකින් රැගෙන යද්දී මියගොස් තිබූ බවට ඇයගේ ස්වාමිපුරුෂයා වූ ඩබ්ලිව්. චමින්ද මහතා පැවැසීය.

දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරුව මිය ගිය මවගේ මරණය සම්බන්ධයෙන් දෙණියාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි සෝමරත්න කෝණාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, “දරුවා ප්‍රසූත කරන අවස්ථාවේ දරුවාගේ සහ මවගේ සංකූලතා තිබී නැහැ. එවැනි අය මෙම රෝහලේ තියාගන්න පුළුවන්. දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරුව මවගේ ලේ වහනය වැඩි වී තිබෙනවා. එය අවම කරගන්න එම අවස්ථාවේ සිටි වෛද්‍යවරුන් දැඩි ලෙස කැපවී කටයුතු කර තිබෙනවා. නමුත් එය අවම කරගැනීමට නොහැකිවූ හෙයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මව සමඟ දරුවා මාතර මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර යන අතරතුරදී තමයි මේ අවාසනාවන්ත සිදුවීම සිදුවෙලා තිබෙන්නේ.”

මව්බිම
ඌරුබොක්ක – අතාවුද පතිරණ