දරුවන් මුදලට අලෙවි කළ ජාවාරමේ සැකකරු ඇප මත මුදාහරී

397

අලුත උපන් දරුවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත හැර තිබේ.

පොලීසිය විසින් සැකකරු මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්ව ඔහු මුදාහැර තිබේ.

සැකකරු යළි ජනවාරි මස 4 වැනි දින මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙබ් අඩවි කිහිපයක් පවත්වාගෙන යමින් ළමයින් විකිණීමේ ජාවාරමේ නිරත වූ මෙම සැකකරු දරුවන් හතළිස් තුන්දෙනෙකු අලෙවි කර ඇති බවට වාර්තා වේ.

එම දරුවන්ගෙන් අටදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් එක් දරුවෙක් අලෙවි කර තිබේ.

හතළිස් හත් හැවිරිදි සැකකරු මාතලේ පදිංචිකරුවෙකි. ඔහු සී.එස්.සී. නේෂන් ලංකා නමින් වෙබ් අඩවි කිහිපයක් පවත්වාගෙන යමින් ළමයින් විකිණීමේ ජාවාරම සිදු කර තිබේ.

පිළිසරණක් නොමැතිව සිටින ගැබිනි කාන්තාවන් හඳුනාගන්නා මෙම සැකකරු මොරටුව ප්‍රදේශයේ පිහිටි නිවසක එම කාන්තාවන් රඳවා තබා ගනිමින් පසුව ඔවුන්ට උපදින දරුවන් මෙසේ අලෙවි කර ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී ඇත.