දඬුවම් ලැබූ තිදෙනාගෙන් දෙදෙනෙකුම ඇමරිකාව බලා යාමේ සූදානමක.

1197

කුසල් මෙන්ඩිස්,නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එංගලන්තයේ සංචාරය අතරතුරදී ජෛව බුබුල කැඩීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ජූලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සියළුම ආකෘතියේ තරග වලින් වලින් වසරක ක්‍රිකට් තරඟ තහනමක් පැනවීය.

ඔවුන් තිදෙනාම ඩර්හැම්හිදී රෑ බෝවී මහ මඟ විනෝද වෙමින් සිටිනු දක්නට ලැබුණි.කෙසේ වෙතත්,වීඩියෝ පටය ප්‍රචාරය වීමත් සමඟම තිදෙනාට වසර බැගින් වූ තහනමක් සහ විශාල දඩ මුදලක් නියම කෙරිණි.

මෙම ප්‍රවෘත්තියට අදාළව නව වාර්තා වලින් කියවෙන්නේ මෙම ක්‍රීඩකයින් තිදෙනාගෙන් දෙදෙනෙක් සිය ක්‍රිකට් දිවිය නැවත ආරම්භ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට සැලසුම් කර ඇති බවයි.

එක් ක්‍රීඩකයෙකු මේ වන විටත් දිවයින හැර යාමට තීරණය කර තිබියදී තවත් අයෙකු ඔහු සමඟ මීට සම්බන්ධ වී ඇති බව සන්ඩේ මෝනින් ස්පෝර්ට්ස් වාර්තා දක්වයි.

වැඩිදුර ආරංචි මාර්ග කියා සිටින්නේ අවම වශයෙන් තහනම් කර ඇති තිදෙනාගෙන් දෙදෙනෙකු වසර තුනක් එක්සත් ජනපදයේ ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බවත්,මෙම කාලය තුළ ඔවුන් වසරකට ඩොලර් 125,000 ක ගනුදෙනුවක් අපේක්ෂා කරන බවත් ය.එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ ක්‍රීඩකයින්ට ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩා කිරීම සඳහා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහය ලැබී ඇති බවයි.

මේ අතර,තම මව් රටේ ඵලදායි අනාගතයක් නොදකින ක්‍රිකට් ක්‍රීඩකයින් ඇමරිකාව විකල්පයක් ලෙස බැරෑරුම් ලෙස සලකති.මීට පෙර තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂෙහාන් ජයසූරියද සිය පවුල සමඟ ඇමරිකාවට ගොස් ඇති අතර ඔහු කිසිදු ජාත්‍යන්තර හෝ දේශීය තරගාවලියකට පැමිණෙන්නේ නැති බව ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය.