BREAKING NEWS
Search

දක්ෂිණ අධිවේගය – කොට්ටාව,කඩුවෙල සහ අතුරුගිරිය හුවමාරුවල සේවකයින් 17කට කොවිඩ්

96

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු කිහිපයක කාර්ය මණ්ඩල ඉවත් කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා පවසන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවය.

කොට්ටාව,කඩුවෙල සහ අතුරුගිරිය යන අන්තර් හුවමාරුවල සේවකයින් එලෙස ඉවත් කර ඇති බව ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් එම අන්තර් හුවමාරු විවෘතව තැබෙන අතර ඒවායෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හෝ පිටවන රථ වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බව මිහාල් ලොඩ්වික් මහතා පැවසුවේය.

ඒ අනුව අතුරුගිරිය,කොට්ටාව සහ කඩුවෙල යන අන්තර් හුවමාරුවලින් ඇතුළු වන රථ වාහනවලට පිටවන ස්ථානයේදී ගාස්තු ගෙවිමේ හැකියාව පවතී.

මේ වන විට කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවකයින් 12 දෙනෙකුට,කඩුවෙල අන්තර් හුවමාරුවේ සේවකයින් සිව් දෙනෙකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරුවේ එක් සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව මිහාල් ලොඩ්වික් මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසළ අද (03) උදෑසන අධික රථවාහන තදබදයක් දක්නට ලැබුණු බව වාර්තාකරුවන් සඳහන් කළේය.

ඒ හේතුවෙන් මාතර දෙසින් පැමිණෙන වාහනවලට කහතුඩුව ප්‍රවේශපත් කවුළුවෙන් මුදල් ගෙවා අධිවේගී මාර්ගයෙන් පිටවීමට සිදුවිය.