තිලාන් සමරවීරත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට

366

ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලාන් සමරවීර මහතා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට තෝරාගෙන තිබෙනවා. ඒ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ T20 තරගාවලිය සහ පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ T20 තරගාවලිය ඉලක්ක කරගෙනයි.

2019 වසරේ පැවති නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තුල ද නවසීලන්ත කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසද මිට පෙර ඔහු කටයුතු කළා. එහි පැවති ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම වුනු අතර විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස නවසීලන්තය ජය ගත්තා.

දැනට වයස අවුරුදු 44ක් වන සමරවීර මහතා 2013 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් අතර,ඉන්පසුව ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස ලොව පුරා තරගාවලි කිහිපයක් සඳහාම සහභාගී වී තිබෙනවා.

තිලාන් සමරවීර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 81කට සහභාගී වෙමින් ශතක 14ක් ලබාගෙන හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් (48.76) රඳවා ගෙන පිතිකරණයේ නිරත වී තිබෙනවා. ඔහු පාකිස්තානය එරෙහිව ලකුණු 231ක් වාර්තා කර ගත් අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණයයි.


TAG